Wednesday, April 9, 2025
Home » සම­ස­මා­ජයේ බ්‍රෙස්ග­ර්ඩල් මෙහෙ­යුම

සම­ස­මා­ජයේ බ්‍රෙස්ග­ර්ඩල් මෙහෙ­යුම

by Gayan Abeykoon
October 31, 2024 1:05 am 0 comment

සමසමාජ පාක්ෂිකයන් සමඟ...

තිහේ දශකය ලංකා දේශපාලනයේ තීරණාත්මක වසරකි. ලංකාවේ දේශපාලනය කෙරෙහි සුවිශාල බලපෑමක් එක්කළ සමසමාජ පක්ෂයේ ආරම්භය සිදුවූ අතරම එහි වර්ධනයට හේතුවූ කරුණු රැසක්ද එම දශකයේ දැක ගැනීමට හැකි විය. බ්‍රිතාන්‍යයේ උපන් මාක් ඇන්ටනි ලිස්ටර් බ්‍රෙස්ගර්ඩල් එම පක්ෂයේ වඩාත් අවධානය දිනාගත් විදෙස් ජාතිකයා විය. උප වතු අධිකාරිවරයකු ලෙස ලංකාවට පැමිණීමට බ්‍රෙස්ගර්ඩල්ට මඩොල් කැලේ රෙලුගස් වතුයාය වත්තේ සේවය කළේය.

බ්‍රෙස්ගර්ඩල් ටික දිනකින්ම කම්කරු ජනයා විඳින දුක ගැන අවබෝධයක් ලබා ගත්තේය. වතු සේවක පිරිස කෙරෙහි ඔහුගේ වූයේ සානුකම්පිත දැක්මකි. ඔහු තමා යටතේ සේවය කරන සේවකයන්ට හැකි අයුරින් සහන ලබා දුනි. කම්කරුවෝද ටික කලක් යන විට බ්‍රෙස්ගර්ඩල්ට සමීප වූහ. මේ තත්ත්වය වතු අධිකාරිවරයාට රිස්සුවේ නැත. හෙතෙම බ්‍රෙස්ගර්ඩල්ට දැඩි ලෙස අවවාද කළේය. එහෙත් තම මානව හිතවාදී ප්‍රතිපත්තිය අතහැර දැමීමට බ්‍රෙස්ගර්ඩල් එකඟ නොවීය. මේ අනුව ඔහුව රැකියාවෙන් ඉවත් කර ආපසු සිය රටට යැවීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක විය.

“අර ඈත සුදු කඳුවැටි ඔබට පෙනෙනවා. අර සුද්දන්ගේ බංගලා ඔබට පෙනෙනවා. සුද්දන් ඒ බංගලාවල සියලු සැප සම්පත් ඇතිව ජීවත්වෙනවා. ඔවුන් ඔබේ ලේ උරා බොනවා. ඔවුන් පරපුට්ටන්. වතුකාරයින්ගේ රහස් මා දන්නවා. මාත් වත්තක සේවය කළ කෙනෙක්. මම ලංකාවට ආවේ එය පොහොසත් රටක් බව අහලයි. ඒක ඇත්ත. නමුත් මේ රටේ සියලු වස්තු මගේ රටේ මිනිසුන්ගේ – සුදු මිනිසුන්ගේ සාක්කුවලට ගිහින් ඔවුන් මෙහි ඇවිත් ඉන්නේ දුප්පත් කම්කරුවන් සූරාකමින් ඔවුන්ගේ ජීව රුධිරය උරා බොන්නයි……”

මේ කතාබහෙන් වතුපාලක සුදු ජාතිකයන් මෙන්ම රටෙහි පරිපාලනය භාරව සිටි සුදු ජාතිකයන්ද බ්‍රෙස්ගර්ඩල් කෙරෙහි කෝප වූහ. ඔවුහු ආණ්ඩුකාර ස්ටබ්ස් හමුවී බ්‍රෙස්ගර්ඩල්ට එරෙහිව කටයුතු කරන මෙන් ඉල්ලා සිටියහ. තත්ත්වය තේරුම් ගත් ආණ්ඩුකාරවරයා, බ්‍රෙස්ගර්ඩල් ලංකාවෙන් පිටමන් කිරීමේ නියෝගය නිකුත් කළේය.

නියෝගය පරිදි 24 වැනිදා හවස 6ට කොළඹ වරායෙන් ඔස්ට්‍රේලියාව බලා පිටත්වීමට නියමිත මුල්ට්‍රාර් නම් නැවෙන් බ්‍රෙස්ගර්ඩල් පිටත් විය යුතුය. ඒ අනුව එදින එම වෙලාවට ආචාර්ය ඇන්. ඇම්.පෙරේරා සහ ලෙස්ලි ගුණවර්ධන යන සමසමාජ නායකයෝ වරායට පැමිණ සිටියහ. ඔවුහු සමඟ විශාල පිරිසක් ද වරායට පැමිණ සිටියේ බ්‍රෙස්ගර්ඩ්ල්ට සුබ පැතීමටය. තවත් පිරිසක් අසල වූ හෝටල් කාමරවල ජනෙල් පියන්පත් විවර කර බලා සිටි බව කියැවේ. ඔවුහු විදේශිකයෝ වූහ. විශේෂයෙන්ම ආචාර්ය ඇන්. ඇම් සහ ලෙස්ලි ගුණවර්ධන පැමිණ සිටීම නිසා බ්‍රෙස්ගර්ඩ්ල්ගේ නික්ම යෑම ස්ථිර බව හැමදෙනාම විශ්වාස කළහ. එහෙත් නැව පිටත්වීමට නියමිත ප.ව. 6 වන විටත් බ්‍රෙස්ගර්ඩ්ල් වරායට පැමිණ නොසිටි අතර නැව ගමන් ආරම්භ කළේය.

ඒ සමඟම ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා;

“ආණ්ඩුකාරවරයාගේ අවලං නියෝගය කඩ කළ බ්‍රෙස්ගර්ඩල්ට ජය වේවා!” කෑ ගැසුවේය. ඒ සමඟම රැස්ව සිටි පිරිසද වීදි බසිමින් බ්‍රෙස්ගර්ඩ්ල්ට ජයවේවායි කෑ ගසන්නට වූහ.

මේ වන විටත් සමසමාජ පක්ෂය ආණ්ඩුකාරයාගේ නියෝගය නීති විරෝධී බව ප්‍රකාශ කර රහසිගත සැලැස්මක් ක්‍රියාත්මක කළේය. එමෙන්ම මේ අවස්ථාව සමසමාජය පක්ෂයට යටත් යටත්විජිත පාලනයට අභියෝග කිරීමට අවස්ථාවක් විය. එහිදී වරායට රැස්ව සිටි පිරිස ‘බ්‍රෙස්ගර්ඩල් සහෝදරයාට ජයවේවා!’යැයි කෑගැසූහ. බ්‍රෙස්ගර්ඩල්ගේ අතුරුදන්වීම සමඟම යමක් සිදුවෙමින් පවතින බව තේරුම්ගත් පොලිස්පතිවරයා බ්‍රෙස්ගර්ඩල් අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය.

අතුරුදන් වීම සහ පොලිසිය මෙහිදී ක්‍රියාත්මකවූ ආකාරය ගැන පැන නැඟී තිබුණු ගැටලු සම්බන්ධයෙන් 1937 අප්‍රේල් 27 දිනමිණ පුවත්පත වාර්තා කර තිබුණේ “බ්‍රෙස්ගර්ඩල් මහතාට කුමක්වීද?” යන සිරස්තලයෙනි.

“ආගිය අතක් සොයාගන්නට බැරිව සිටින මාක් ඇන්ටනී ලිස්ටර් බ්‍රෙස්ගර්ඩල් මහතා සෙවීම පිණිස පොලිසිය තවමත් බලවත් වෑයමක් දරන නමුත් ඔහු කෙසේ අතුරුදන්වීද? දැනට කොහි සිටීද? යන වගක් තවමත් ස්ථිර අන්දමට දැන ගන්නට ලැබී නැත. පසුගිය සෙනසුරාදා සවස් කාලයෙහි සිටම පොලිසිය හා වෙනත් අයද මේ මහතා සෙවීම පිණිස බලවත් ආයාසයක් ගෙන රට හැමතැනම සෝදිසි කරත්. මොහු කෙසේ නමුත් සොයාගැන්මටද ඔවුහු බලාපොරොත්තු ඇතිකරගෙන සිටිත්.”

මේ අතරම සම සමාජ පක්ෂය තම විරෝධය දැක්වීමට නීතිමය ක්‍රියාමාර්ගයන්ට යොමුවිය. එමෙන්ම ඔවුහු ආණ්ඩුකාරයාගේ ක්‍රියා කලාපයට විරෝධය දැක්වීමේ දැවැන්ත රැලියක්ද සූදානම් කළේය.

ගාලුමුවදොර පැවැති එම රැලියට විසිපන්දහසකට ආසන්න පිරිසක් පැමිණ සිටි අතර කතිකයෝ රැසක් ජනතාව ඇමතූහ. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඩී.එම්. රාජපක්ෂ, ආචාර්ය එන්.ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන, නාතේස අයියාර්, සිරිපාල සමරක්කොඩි, වර්ණන් ගුණසේකර එම කථිකයෝ වූහ. මේ කතා මධ්‍යයේ එතෙක් අතුරුදන්ව සිටි බ්‍රෙස්ගර්ඩල් රැස්වීම් බිමට පැමිණියේ රැස්ව සිටි පිරිස මවිතයට පත්කරමිනි. එහිදී රැස්ව සිටි පිරිස ඇමතීමටද ඔහු කටයුතු කළේය. එම කතාව පසුදින දිනමිණ පුවත්පත මෙසේ වාර්තා කර තිබිණි.

“තමුන්නාන්සේලා මෙපමණ සෙනගක් අද මෙහි රැස්වීම ගැන මම ස්තූති කරමි. ලාංකිකයන්ගේ අයිතිවාසිකම් රැකදීමට මා සුළු වශයෙන් ක්‍රියා කළෙමි. ලංකාවේ නිදහස ලබා ගැනීම සඳහා මා උපකරණයක් වුවහොත් එය මට මහත් ප්‍රීතියට කරුණකි. මේ ආණ්ඩුක්‍රමය වහල් ආණ්ඩුක්‍රමයකි…”

1937 මැයි 07 දින සමසමාජය පුවත්පතට අනුව බ්‍රෙස්ගර්ඩල්ගේ අදහස මෙසේ වාර්තා කළේය.

“සිංහල සහෝදරයින් සමින් කළු වුවත් ඔවුන්ට ශෙතවර්ණ මාණික්‍යය මෙන් අගනා හෘදයක් තිබේ. මේ ලක්දිව සිටින ධනපති යුරොපීහු සමින් නම් සුදුය. නමුත් ඔවුන්ට තිබෙන්නේ ලෝකෝන්තරික නරකයෙහි අන්තරූප මෙන් කළු වූ හෘදයන්ය. ලක්දිව සිටින යුරෝපීහු තම විවේක කාලයන්හි කථා කරන්නේ ලක්දිව වසනා මහජන හා කම්කරු නායකයින් කෙසේ වෙඩි පහරින් වනසමුද කියාය”

සිය කතාවෙන් පසුව බ්‍රෙස්ගර්ඩල් රැස්වීම් බිමෙන් යළිත් අතුරුදන් විය. කෙසේ වෙතත් උපක්‍රමශීලීව ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ පක්ෂ ලේකම් වර්ණන් ගුණසේකර මහතාගේ කාර්යාලයේදී ය. පසුව ඇන්. ඇම්. පෙරේරා මහතා කොටුව පොලිසියට ගොස් ඔහු මුණගැසුණු අතර, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, සර් ෆ්‍රැන්සින් ද සොයිසා හා වර්ඛන් ගුණසේකර යන නීතිඥ පිරිස අග්‍රවිනිශ්චයකාර සිඩ්නි ඒබ්‍රහම්ස්ගේ නිවසට පිටත්වූහ. එංගලන්තයට යැවීමට සිර භාරයේ තබන අතර සමසමාජ පක්ෂය හබයාස් කෝපුස් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කළේය. අධිකරණයේ තීන්දුව නිකුත්වූයේ ආණ්ඩුකාරවරයාගේ නියෝගයට පටහැණිවය.

ක්‍රමයෙන් රට තුළ අර්බුද රැසක් පැන නඟින්නට විය. පොලිස්පති බෑනක්ස් තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන මෙන් ඇමැති මණ්ඩලය ආණ්ඩුකාරයාගෙන් ඉල්ලා සිටින ලදි. එහෙත් ආණ්ඩුකාරයා තීරණය නොපිළිගත් අතර, තවත් අවුලක් නිර්මාණය විය. පසුව මේ ගැටලුව නිරාකරණය කිරීම සඳහා බ්‍රෙස්ගර්ඩල් කොමිසම පත් කෙරිණි. කොමිසමද සැලකුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පක්ෂපාතී කොමිසමක් ලෙසය. මෙහිදී කොමිසමට අනුව පොලිස්පති බෑන්ක්ස්, බ්‍රෙස්ගර්ඩල් රටින් නෙරපා හැරීමට ඉදිරිපත් වූයේ අනිසි චේතනාවකින් නොවන බවත්, බ්‍රෙස්ගර්ඩල් ලක්දිව සුදු මහත්වරුන්ට විරුද්ධව ඇති කළ උද්ඝෝෂණ නිසා ගැටුමක් ඇතිවීමට ඉඩ තිබුණු බව සිතීමට මහලේකම්ට සිදුවූ බව වාර්තාවේ සාරංශ අන්තර්ගතය විය.

මේ සම්බන්ධයෙන් රාජ්‍යමන්ත්‍රණ සභාවේ රැස්වීමේදී සාකච්ඡා කෙරිණි. සාකච්ඡා දිනයේදී රාජ්‍යමන්ත්‍රණ සභාව ද ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබූ බව 1937 මැයි 05 දා දිනමිණ පුවත්පත වාර්තා කර තිබිණි.

“මේ සම්බන්ධයෙන් වේගවත් සාකච්ඡාවක් ඇතිවන බව දැන සිටි විශාල පිරිසක් මන්ත්‍රණ සභාවේ කටයුතු ආරම්භ වීමට බොහෝ පෙරටුවම මන්ත්‍රණ සභාව අසලට පැමිණ සිටි නමුත් මහජන ගැලරි ඉඩ මඳකම නිසා එහි ඇතුළුවීමට හැකිවූයේ රැස්ව සිටි පිරිසෙන් කොටසක් පමණි.“

මෙහිදී අදහස් දැක්වූ බී.එච්.අලුවිහාරේ මහතා මෙසේ කීය.

“බ්‍රෙස්ගර්ඩල් කොමියුනිස්ට්කාරයකු බව අමතක කර අප මේ ගැන පරීක්ෂා කර බැලිය යුතුය. ඔහුගේ දේශපාලන අදහස් ගැන අපට මෙහිදී කිසිවක් පරීක්ෂා කිරීමට වුවමනා නැත. ඉංග්‍රීසි ජාතිකයකු වූ බ්‍රෙස්ගර්ඩල්ට මේ රටේ සිටීමට අයිතිවාසිකමක් තිබේ. මේ පුද්ගලයා කරපු වරදක් ගැන අපට අසන්ට ලැබී නැත. සමහර විට ඔහු කර තිබෙන එකම වරද අවිස්සාවේල්ලේ සහ රුවන්වැල්ලේ මන්ත්‍රීවරු සමඟ එකතුව කටයුතු කිරීමය.”

රැස්වීමේදී පිලිප් ගුණවර්ධන මහතා කියා සිටියේ බ්‍රෙස්ගර්ඩල් වාර්තාව ප්‍රතික්ෂේප කළ යුතු බවයි. එය සම්මත නොවිණි. කෙසේ වෙතත් සිංහල මහා සභාවේ සිරිපාල සමරක්කොඩි මහතා ගෙන ආ අතුරු යෝජනාව සම්මත විය. එයට අනුව බ්‍රෙස්ගර්ඩල් කොමිසමේ වාර්තාව හෙළා දැකීමටත්, ප්‍රතික්ෂේප කිරිමටත් තීරණය විය. එයට පක්ෂව 34ක්ද විපක්ෂව 7ක්ද ඡන්දය ප්‍රකාශ කෙරිණි.

අවසානයේදී දේශපාලන පෙරමුණේදී මෙන්ම නීති සටනෙන්ද බ්‍රෙස්ගර්ඩල් නිදහස ලැබීය.

මලික් චමින්ද ධර්මවර්ධන

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT