ශ්‍රී ලංකාවේ ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනය පිළිබඳ සලකා බැලුවහොත් ගම්‍ය වන්නේ කාන්තාවට ඉතා අවම නියෝජනයක් හිමිව ඇති බවය. 1931දී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමි වීමත් සමඟ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දේශපාලනයට පිවිසීමේ අවස්ථාව සියලු දෙනාට පොදු විය. සාමාන්‍ය ජනයා ද පෙරට වඩා දේශපාලනය පිළිබඳ උනන්දු විය. එහෙත් එදා සිට අද දක්වාම දේශපාලනයේ නියළෙන බොහෝ දෙනාට පෙර පවුල් දේශපාලනයේ ආභාසය හෝ ජනප්‍රියතාවක් පැවත තිබේ.
ශ්‍රී ලංකාව විසින් අත්සන් කර ඇති කාන්තාවන්ට එරෙහි වූ සියලුම වෙනස්කම් දුරු කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය මඟින් කාන්තාවන්ගේ සමාන දේශපාලන සහභාගිත්වය හා නියෝජනය තහවුරු කර ඇත. ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතිය අනුව ස්ත්‍රියට, පුරුෂයා හා සම අවස්ථා සහ අයිතීන් ඇති බවට සඳහන්ව තිබුණ ද පුරුෂ මූලික සමාජය තුළ පුරුෂාධිපති සිතිවිලි සහ තීරණ අතර ස්ත්‍රියට හිමිවිය යුතු තැන ලැබී නැත.
කාන්තා නියෝජනය ප්ර්රමාණාත්මකව වැඩි කිරීම සම්බන්ධයෙන් පොදු ජන සමාජයෙන් සහ ඇතැම් පක්ෂවලින් එල්ල වන විරෝධතාව කාන්තාවගේ සක්‍රිය දේශපාලන දායකත්වය කෙරෙහි සමාජයේ ඇති ආකල්පය පෙන්නුම් කරන්නකි. සැබවින්ම කාන්තාව හා දේශපාලනය අතර ඇති දුරස්ථභාවය කාන්තාවගේ දේශපාලන නියෝජනයට වඩා ගැඹුරට විහිදෙන ගැටලුවකි.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ ස්ත්‍රීන්ගේ දේශපාලන නියෝජනය 1948 නිදහස ලැබීමේ සිට මේ දක්වාම කිසිදු අවස්ථාවක 6.5% ඉක්මවා ගොස් නැත. 1977දී එය 6.5% වූ අතර, එතැන් සිට 2012 දක්වාම එම ප්‍රතිශතය 5.8% හා 4.0% අතර පරාසයක පවතී. දකුණු ආසියාවේ රටවල් අතුරින් ප්‍රථමයෙන්ම සර්වජන ඡන්ද බලය දිනා ගැනීමට 1931දී ශ්‍රී ලාංකේය ස්ත්‍රී සමත් වූහ. එහිදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට නියෝජනය වූයේ එක් ස්ත්‍රියකි. 1936 දී තවත් ස්ත්‍රියක් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්විය. එවකට පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ස්ත්‍රී නියෝජනයේ ප්‍රතිශතය 3.7% කි.
පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම පිළිබඳ සංවාදයට ලක්වන මේ වකවානුව තවත් සුවිශේෂ කාරණයක් නිසා වැදගත්ය. ලෝකයේ පළමු රාජ්‍ය නායිකාව බිහි කිරීමේ ගෞරවය ද ආඩම්බරය ද දශක හයකට ආසන්න කාලයක සිට ශ්‍රී ලංකාව අත්දකිමින් සිටී. ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ ආසියාතික රටවල කාන්තාවන් බොහෝවිට දේශපාලනයට පිවිසෙන්නේ දේශපාලන හේතූන් මත ඝාතනය වීම හෝ ඔවුන්ගේ අභාවයන් සිදුවූ පසුය.
ඒ කෙසේ වෙතත් අපේ රටේ ජනගහනයෙන්, ඡන්ද දායකයන්ගෙන් බහුතරය කාන්තාවන් වුවත් මේ රටේ මහජන නියෝජිත ආයතන තුළ කාන්තා නියෝජනය සෑහීමකට පත් විය නොහැකිය. එයට ප්‍රධාන හේතුව ඡන්දය දීමට කාන්තාවන් ඡන්ද පොළට ගියත් ඡන්දය ඉල්ලන්න, දේශපාලනය කිරීමට ඉදිරියට පැමිණීමට මෙරට කාන්තාවෝ තරමක උදාසීන බවක් දක්වති.
ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන්ගේ දේශපාලන නියෝජනය අවම මට්ටමක පැවතීමට විවිධ සමාජ, සංස්කෘතික, ආර්ථික, මනෝභාවාත්මක මෙන්ම දේශපාලන සාධක ද බලපෑම් කරයි. පීතෘ මූලික සමාජ ආකල්ප, ස්ත්රීන්ට සමාජයෙන් පවරා දී ඇති සාම්ප්‍රදායික ගෘහස්ථ භූමිකා, ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය සමාජානුයෝජන ක්‍රියාවලිය, ස්ත්රීන්ට ඇති අඩු නිදහස හා සමහර ආගමික අර්ථකථන හා තහංචි ආදියත් සමාජ හා සංස්කෘතික බාධක අතරින් මූලික වේ. පුරුෂයන්ට සාපේක්ෂව බොහෝ ස්ත්‍රීන් ආර්ථික වශයෙන් අඩු ස්වාධීනත්වයක් දැරීම, නූතන ශ්‍රී ලාංකික මැතිවරණවලට වියදම් කිරීම සඳහා අවශ්‍ය වන ආකාරයේ මුදල් සම්භාරයක් එකතු කරගැනීමට පොදුවේ ස්ත්රීන්ට අපහසු වීම හා යම් යම් වත්කම් ඇති ස්ත‍්‍රීන්ට පවා පවුලේ වැඩිමහල් පුරුෂයන්ගේ අවසරයකින් තොරව ඒවා මැතිවරණ ව්‍යාපාරවලට යෙදවීමට නොහැකි වීම ආදියද ස්ත්‍රීන්ගේ අවම දේශපාලන නියෝජනය කෙරෙහි බලපාන බාධක වේ.
නමුත් ලංකාවේ කාන්තාවන් පරිපාලන ක්‍ෂේත්‍රය තුළ ස්ත්‍රී සහභාගිත්වය වර්ධනය වෙමින් පවතී. දැනට අමාත්‍යාංශ ස්ථිර ලේකම්වරියන්, දිස්ත්‍රික් ලේකම්වරියන් වැනි ක්ෂේත්රවල සේවයේ නිරතව සිටී. ප්‍රාදේශීය ලේකම්වරියන්ගෙන් 24% ක් පමණ ස්ත්‍රීහු වෙති. ප්‍රධාන අග්‍ර විනිශ්චයකාර හා නීතිපති ධුර ද ස්ත්‍රීහු හොබවති. වර්තමානයේ වැඩබලන නීතිපති ධුරය හොබවන්නේද කාන්තාවකි.
පුරුෂයන්ටත් වඩා දක්ෂ ආකාරයෙන් දේශපාලන ව්‍යාපාර ඉදිරියට ගෙන යෑමේ හැකියාව සමහර ස්ත්‍රීන්ටද ඇත. නමුත් නායකයින් ලෙස ඉස්මතු වූ ස්ත්රීන් මැතිවරණවලට නාමයෝජනා ඉල්ලූ විට දේශපාලන පක්ෂවල ආසන සංවිධායකයින්ගේ සාම්ප්‍රදායික ආකල්ප නිසා හෝ එබඳු ස්ත්රීන් පුරුෂයින්ට වඩා ජනප්‍රිය වේ යැයි ඔවුන් තුළ ඇති බිය නිසා බොහෝ විට එම අවස්ථාව ස්ත්රීන්ට ලබා නොදීමට කටයුතු කරයි. මේ ගැටලුව විසඳීමට නම් අනිවාර්යෙන්ම ස්ත්රීන් හා පුරුෂයන් සඳහා නීත්‍යනුකූලව පංගුවක් වෙන් කිරීම අත්‍යවශ්‍යය.මේ නිසා 25%ක කෝටාවක් විවිධ මැතිවරණවලදී ඉල්ලා සිටියද එය නිසි අයුරින් සිදු නොවුණි. පළාත් පාලන අයතනවල කාන්තා නියෝජනය 23% දක්වා වැඩි වූ අතර, නමුත් ඊළඟ මැතිවරණවල දී 25% නාමයෝජනා දීමට පමණක් සීමා විය.
කාන්තාවන්ට දේශපාලනය කිරීමටත් අයිතිවාසිකම් දිනා ගැනීමටත් පිරිමින් සමඟ සටන් කිරීමට සිදුව ඇත. මෙතෙක් ලංකාවේ කාන්තාවන්ට දේශපාලනය කිරීමට සමබිමක් නිර්මාණය වී නැත. ලංකාවේ දේශපාලනය කරන්නට මුදල් විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ මුදල් ප්‍රමාණය සොයා ගැනීමට කාන්තාවන්ට හැකියාවක් නැත. මේ නිසාද කාන්තාවන් අඩු වශයෙන් දේශපාලනය කිරීමට හේතු වී ඇත.
දැනට වඩා ඉදිරියේ දී කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්රයට පිවිසීමට වැඩි ඉඩ කඩක් අප සලසා දිය යුතු ව තිබේ. මහජන නියෝජන ආයතන සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ දී අදාළ ලැයිස්තුවට අනිවාර්ය කාන්තා නියෝජනයක් තිබුණත් ඇතැම් විට කාන්තාවන් ඒ සඳහා ඉදිරිපත් නොවීම නිසා එය නොසලකා හරින අවස්ථා ද අප දැක තිබේ.
මෙවර මහ මැතිවරණය සඳහා සැලකිය යුතු කාන්තා නියෝජනයක් ලැබී තිබීම සතුටට පත්විය හැකි කාරණයකි. කලා, ක්‍රීඩා, වෛද්‍ය, නීතිඥ ආදී විවිධ වෘත්තීන් නියෝජනය කරන ප්‍රකට කාන්තාවන් ගණනාවක්ම මේ මැතිවරණයට මුල්වරට ඉදිරිපත්ව සිටී. ඒ කලින් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරියන් හා ඇමැතිවරියන්ට අමතරවය. එමෙන්ම පක්ෂවල ජාතික ලැයිස්තු සඳහාද වැඩි කාන්තා නියෝජනයක් ලබාදීම දැකගත හැකිය. මෙය පෙර මහමැතිවරණවලදී දැකගත හැකි නොවූ සුවිශේෂ තත්ත්වයකි.
මෙවර ඡන්ද සටනට සහභාගි වන සමස්ත අපේක්ෂකයින් සංඛ්‍යාව 8,821කි. අපේක්ෂකයෝ 469 දෙනෙක් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වෙති. පසුගිය මැතිවරණවලට සාපේක්ෂව මෙවර මහමැතිවරණයේ කාන්තා නියෝජනය සෑම පක්ෂයකම වර්ධනයක් දැකගත හැකිය.
සමස්තයක් වශයෙන් ගත් විට ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය අඩු වීම සඳහා විවිධ සාධක අඩු වැඩි වශයෙන් බලපා තිබේ. ආසියානු කලාපයේ කාන්තා නියෝජනය අවම රාජ්‍ය ශ්‍රී ලංකාවයි. දේශපාලනය යනු පුරුෂයින්ගේ තොතැන්නක් නොවන බවත් ඒ සඳහා කාන්තාවන්ට ද යම් පිළිගත හැකි නියෝජනයක් ලබාදීම ප්රජාතන්ත්රවාදී රාමුව තුළ වැදගත්ය. කාන්තාවට පවුලේ භුමිකාව හිමි වීම උරුමයක් නොවන බවත්, ඇයට ආර්ථික, සමාජයීය සහ දේශපාලනය තුළ ද යම් වටිනාකමක් හිමි විය යුතුය.
රුවන් පුෂ්පකුමාර