ආහාර සුරක්ෂිතතාවට වැඩපිළිවෙළක් අප සතුයි
ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂිකා,විධායක සහික සහ සරෝජා සාවිත්‍රී පෝල්රාජ්
* මුල් වරටයි ඔබේ කඳවුරට රාජ්‍ය බලය ලැබී තිබෙන්නේ. හැබැයි, එය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට හැකියාවක් නෑ කියා ඇතැමුන් ප්‍රකාශ කරනවා ?
ඒවා පරාජය වැලඳ ගන්න බැරුව කියන පදනම් විරහිත බොරු, පුහු කතා. අත්දැකීම් කියන්නේ කළ පුරුද්ද හා දැක පුරුද්ද. ඒ අනුව දැක පුරුද්ද හොඳටම තියෙන්නේ අපිට. වැරදුණු තැන් හොඳටම දන්නේ අපි. සෑම අතින්ම වැටුණු රටක් තමයි අපි ගන්න යන්නේ. සියලු ක්ෂේත්රවලින් කඩා වැටුණු රටක්. මේ රට ගොඩනැඟීම සඳහා අපේ ළඟ තියෙන්නේ වැඩපිළිවෙළක්. මේ හැම දෙයක්ම කඩා වැටෙන හැටි අපි දැක්කා. එය ගොඩනැඟීම සඳහා වැඩපිළිවෙළක් අප සතුයි. ක්ෂේත්‍ර තිස් නවයක් (39), ප්‍රතිපත්ති මාලාවක්, සංවර්ධන ව්‍යාපෘති රැසක්, ජාතිය සමගිය ගැන අලුත් මාවතක් අපි සැලසුම් කර තිබෙනවා. අපි සියලුම දෙනාම ශ්‍රී ලාංකික කියන මනෝ සමාජයීය සහයෝගිතාව ඇති ජාත්‍යන්තරය දිනන රටක් අපි ගොඩනඟනවා. ඒ සඳහා ක්ෂේත්‍ර කීපයක පළපුරුද්ද ඇති පිරිසක් තමයි අප සතුව ඉන්නේ.
* එසේනම් රටටත්, ජනතාවටත්, ආර්ථිකයටත් හානියක් නැතිව විධිමත් ලෙස රට කරන්නට ඔබේ කණ්ඩායමට ඇති හැකියාව කුමක් ද ?
පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙනවා. අපේ රටේ රාජ්‍ය ආදායමට වඩා වියදම වැඩියි. එම තත්ත්වය ඇතිකර තිබෙන්නේ මෙතෙක් සිටි පාලකයින් විසින්. පසුගිය කාලය පුරාම බැලුවහම පාලකයින්ගේ නඩත්තුවට වැඩි මුදලක් වැය කර ඇති බව හොඳටම පෙනෙන්නට තිබෙනවා. එම තත්ත්වය අපි වෙනස් කර දේශපාලනය ස්වේච්ඡා සේවාවක් බවට පත්කර තිබෙනවා. අපි වරප්‍රසාද වෙනස්කර, වියදම අඩුකර ඉදිරියට ගෙන යන ඵලදායී වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ සියල්ල ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ඒ ක්ෂේත්රවල දැනුම, පළපුරුද්ද හා නිපුණතාව තිබෙන පිරිස් අප හා එක් කරගෙන තිබෙනවා. අපේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න ඉන් අපිට හැකියාව ලැබේවි. එය ජනතා ජයග්‍රහණයක්.
කඩා වැටුණු කෘෂිකර්මාන්තය තුළ මෙරට ආහාර ආනයනයට පෙළඹී සිටිනවා. එය අපරාධයක්. එම තත්ත්වය වෙනස්කර අප රට තුළ ආහාර සුරක්ෂිතතාව ගොඩනඟන්න පැහැදිලි වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.
ඒ වගේම මානව සම්පත අපිට ඇති ලොකු සම්පතක්. නුපුහුණු සේවකයා වෙනුවට පුහුණු ශ්‍රමිකයින් නිර්මාණය කර ඉන් රාජ්‍ය ආදායමට වැඩි තල්ලුවක් ලබාගන්න අපි කටයුතු කරන්න සැලසුම් කර තිබෙනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණයත් වැඩිදියුණු කර හරි මාවතට එය යොමුකර රාජ්‍ය ආදායම වැඩි කරන්න අපි සැලසුම් කර තිබෙනවා.
* ඔබට ඇත්තේ තිදෙනෙකුගෙන් යුතු කැබිනට් මණ්ඩලයක්. එය තවදුරටත් වැඩිවෙයි කියා ඔබ විශ්වාස කරනවාද ?
පැහැදිලිවම ඔව්. එක රැයකින්, එක දවසකින් සැකසූ නාම යෝජනාවක් නොවෙයි අපට තිබෙන්නේ. 2018 සිට අදාළ ක්ෂේත්රවල ප්‍රාමාණික උගතුන්, බුද්ධිමතුන් හඳුනාගෙන ඔවුන් හා සාකච්ඡා කරමින් තමයි අපි ඉදිරි වැඩපිළිවෙළ සකස් කළේ. ඒ සඳහා සාකච්ඡා වට, දැනුවත් කිරීම්, ක්ෂේත්‍ර හඳුනා ගැනීම්, ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම්, ඒ වෙනුවෙන් සුදුස්සන් හඳුනාගැනීම් මේ සියල්ල අපි සිදු කළා. ඉතින් ඒ විදිහට සකස් කරපු වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑම සඳහා සුදුසු පිරිස දිස්ත්‍රික්ක තුළ ස්ථානගත කිරීම අප සිදු කළා.
ලක්ෂ තිහක් (30) පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කළේ නැහැ. ඒ විදේශගතවීම් මත හෝ කලකිරීම් තත්ත්වයන් මත වෙන්න පුළුවන්. ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු මේ වනතෙක් රටට ලබා දී ඇති වරප්‍රසාද දැක වැඩි පිරිසක් අපි සමඟ එකතු වේවි. උතුරු නැඟෙනහිර හා වතුකරයේ තිබූ ප්‍රශ්න ජනතාව දැන් තේරුම් ගෙන සිටිනවා. සියලු ජන කොටස් රැකගන්නා ආණ්ඩුවක් අපි දැන් සකසමින් ඉන්නවා. අපේ ජයග්‍රහණය ස්ථිරයි.
* ඒ කියන්නේ පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩි ප්‍රමාණයකින් ඔබේ කඳවුරට ඡන්දය ලැබෙනවා කියන එකද ?
පැහැදිලිවම ඔව්. ස්ථිර වශයෙන්ම බහුතර බලයක් සහිත ආණ්ඩුවක් අපි පිහිටුවනවා. ඒ වගේම ජනතාවට, රටට දැනෙන පාලනයක් අපි ගෙන යනවා. ඒ සියල්ල අපි සැලසුම් කරලයි තියෙන්නේ.
* වැඩිපුර කාන්තා මන්ත්‍රීවරියන් පාර්ලිමේන්තුවට යැවීමේ වැඩපිළිවෙළක් තිබෙනවාද ?
ඔව්. අපි දීර්ඝකාලීනව සිදුවූ දේ දැක ඒ වෙනුවෙන් නියම ක්‍රියාමාර්ගයකට පැමිණ තිබෙනවා. ඒ අනුව සෑම දිස්ත්‍රික්කයටම එක් කාන්තා නියෝජනයක් වත් ලැබෙන සේ අපි වැඩපිළිවෙළක් සකස් කොට ඒ සඳහා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක විසිදෙක සඳහාම කාන්තා නියෝජනයක් ලැබෙන සේ නාම යෝජනා සඳහා තිස්හය දෙනකු (36) අපි ඉදිරිපත් කර තිබෙනවා. ජනතාවගෙන් අපේ ඉල්ලීම මේ සියලුම දෙනා පාර්ලිමේන්තු එවන ලෙසයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානත්මතාව සඳහා අවස්ථාව දී තිබෙනවා. පිළිගැනීම හා පංගුකාරිත්වය ලබා දී තිබෙනවා. ජනතාව ඒ සඳහා සාධාරණයක් කරාවි.
අද මම මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේත් ගුරු ජීවිතයේ වසර විසිපහක සේවා කාලයක් අවසන් කර පූර්ණ විශ්‍රාම අරගෙනයි. මේ සියල්ල ඔස්සේ දේශපාලන ක්‍රමයේ වෙනසක් අපි ඇතිකර තිබෙනවා.
ඩිජිටල්කරණය මෙරටට අත්‍යවශ්‍යයි
සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක, දෙවිනුවර ආසනයේ ප්‍රධාන සංවිධායක හා හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී, පරිගණක ඉංජිනේරු
චතුර ගලප්පත්ති
*පසුගිය ජනාධිපතිවරණයේදී ඔබ පක්ෂයට අත උඩ තිබූ ජයක්ග්රහණයක් පක්ෂ යන්ත්රණයේ දුර්වලතා හේතුවෙන් ගිලිහී ගිය බව ඇතැම් අය කියනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද ?
ඔව්. 2019 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල හා ඉන්පසු විපක්ෂනායකතුමා ගෙන ගිය ජනතාවාදී වැඩපිළිවෙළ නිසා බහුතර ඡන්දයකින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරනු ඇතැයි පැහැදිලිව පෙනෙන්න තිබුණා. මුල් අවස්ථාවේ සමීක්ෂණ වාර්තාවලින් කියවුනෙත් එහෙමයි. ඒත් ගෝඨාභය රාජපක්ෂ හැටනවලක්ෂයේ බලය අරගෙන සිදුකළ පාලන සමයේදී ජනතාවට විඳින්න සිදු වූ අනේකවිධ තාඩන පීඩන හේතුවෙන් ජනතාව තුළ කලකිරීම් සහගත බවත් ඇතිව තිබුණා. එලෙස විඳින්නට සිදු වූ තාඩන පීඩන මත ජනතාව තුළ ඇති වූ පීඩාකාරී තත්ත්වය හේතුවෙන් ඊට එරෙහිව දුන් දඬුවමක්, එහෙමත් නැත්තන් එම පීඩාකාරී තත්ත්වය මුදාහැර ගැනීමක් සිදුකළ අවස්ථාවක් වගේ තමයි පසුගිය ඡන්දයේදී සිදුවුණු බව පේන්නේ.
අපේ මැතිවරණ යන්ත්‍රණයේදී ගෝඨාභය පාලන සමයේ පීඩාකාරී තත්ත්වයට පත්වුණු ජනතාව දිනා ගැනීමට ගත් ක්‍රියාමාර්ගවල යම් පසුගාමී බවක් ඇති වුණාද යන සැකය මා තුළත් තිබෙනවා. එම මැතිවරණයේ ප්‍රතිඵල හා ඉන් ලබාගත් අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් හා දැනට රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින තත්ත්වය තුළ ජනතාවට ඇති වී තිබෙන දේ පිළිබඳ ජනතාව දැනුවත් කරමින් ජනතාව බහුතරයක් අප කෙරෙහි දිනා ගැනීමට අවශ්‍ය කටයුතු අපි කරමින් සිටිනවා. ජනතාව දිනවන, රට ගොඩනඟන හොඳම වැඩපිළිවෙළක් අප ඉදිරිපත් කර තිබෙනවා. ඊට ජනතාවගේ සහාය ලැබෙනු ඇතැයි ලොකු විශ්වාසයක් තිබෙනවා.
* ඔබේ පක්ෂය හා පක්ෂ නායකත්වය පසුගිය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය පිළිබඳ ලොකු විශ්වාසයකින් කටයුතු කළත් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ. එම තත්ත්වයත් සමඟ සමගි ජන බලවේගය හා ජනතාව තවදුරටත් සිටීවි කියා විශ්වාසයක් තිබෙනවාද ?
හැමදාමත් සමගි ජන බලවේගය සමඟ සිටි ජනතාව කිසිදු වෙනසකින් තොරව අප සමඟ සිටින බවට ලොකු විශ්වාසයක් තිබෙනවා. එහි වෙනසක් වන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ අපට ඡන්දය නුදුන් හා පසුගිය ජනාධිපතිවරණයේදී කිසිදු පක්ෂයකට ඡන්දය දීමෙන් වැළකී සිටි ජනතාවත් අප වටා එක් රැස්කොට ගෙන මෙවර මහමැතිවරණයේදී පැහැදිලි ජයග්‍රහණයක් සඳහා අවස්ථාව උදාකර ගන්නටයි අප කටයුතු කරමින් සිටින්නේ. අපි ඒ සඳහා පැහැදිලි දැක්මත් සහිත වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා. ජනතාව එය පිලිගනීවි කියා අප තුළ ලොකු විශ්වාසයක් තිබෙනවා. ඉතිහාසය පුරා බැලුවහම ජනතාවාදී ලෙස හා රට ගැන සිතා ඵලදායි වැඩසටහන් වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කර ඇත්තේ අප පක්ෂ නායකයින් බව නොරහසක්. ජනතාව ඒ බව දන්නවා.
* මෙවර මහමැතිවරණයේදී අලුත් මුහුණු පාර්ලිමේන්තුවට යවන්න තමයි ජනතා අපේක්ෂාව. මේ වෙනුවෙන් සමගි ජන බලවේගය තුළ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද ?
ඔව්. අපි ඒ සඳහා සැලසුම්ගත ලෙස වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. අපගේ දිස්ත්‍රික් නාමයෝජනා පරීක්ෂා කළ විට එය පැහැදිලිව බලාගන්න පුළුවන්. අපි ජනතා අපේක්ෂා ඉටුවන ආකාරයට තමයි මෙවර නාමයෝජනා සකස් කොට ඉදිරිපත් කර ඇත්තේ. ඒ අතරට උගත්, බුද්ධිමත් කළ පුරුද්ද හා දැක පුරුද්ද ඇති අය එක් කිරීමට ක්‍රියා කර තිබෙනවා.
විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තමයි රට තුළ සිදුවන දූෂණ සහ මූල්‍ය අක්රමිකතාවලට ප්‍රමුඛතම හේතුවක් තමයි රට ඩිජිටල්කරණයට ලක් නොකිරීම. 2001 වසරේදී හඳුන්වා දුන් ඩිජිටල්කරණ වැඩසටහන සමඟ බද්ධ වුණු රටවල් දියුණුවෙන් දියුණුවට පත්වෙමින් ඉදිරියට ගියා. ඒ වෙනුවට අප රටේ ඇති වුණේ ආර්ථික ඝාතයකින් බිහිවීම. මෙම තත්වය වෙනස් කරන්නට නම් ඩිජිටල්කරණයට යාම අනිවාර්යයෙන් සිදු කළ යුතුයි.
* ඔබ කියන විදිහට ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා නම් නාමයෝජනා සකස් කිරීමෙන් පසු පක්ෂය තුළ විවිධ හැලහැප්පීම් සිදුවුණ බවක් දක්නට ලැබුණේ කොහොමද ?
ඔය ලොකුවට පෙන්නන්න උත්සාහ කරන දේවල් නාමයෝජනා සකස් කිරීම්වලදී අප පක්ෂය තුළ ඇතිවුණේ නැහැ. ඇතැම් දිස්ත්‍රික්කවල පුංචි පුංචි සිදුවීම් සිදුව තිබුණත් එය ජනතා අපේක්ෂා පළුදු වීමට තරම් කිසිදු බලපෑමක් ඇති කළ හැකි ඒවා නොවෙයි. ජනතාව අපේක්ෂා කරන තත්ත්වයට අපේ පිරිස ඒ ඒ දිස්ත්‍රික්ක තුළ නාමයෝජනා සඳහා ඉදිරිපත් කර තිබෙනවා. එම පිරිස මේ වන විට තම තමන්ගේ දිස්ත්‍රික්කවල ජනතාව සමගි ජන බලවේගය වටා එක්රොක් කර ගනිමින් සිටිනවා.
*මින් පෙර අවස්ථාවල පාර්ලිමේන්තුව නියෝජනය කළ අය නැවත පත් නොකළ යුතුයි කියා ජනතා මතයක් ගොඩනැඟී තිබෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද ?
ඔව්. ඔබ කියන විදිහේ ජන මතයක් සමාජය තුළ තිබෙනවා. මම හිතන විදිහට හා පෙනෙන විදිහට පසුගිය ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ සිටි ලොකු පිරිසක් මෙවර මහමැතිවරණයට ඉදිරිපත්ව නැහැ. එය ජනතාව අපේක්ෂා කළ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි රටක පාලනයකදී දේශපාලන වශයෙන් පරිණත වූ පිරිසක්ද සිටිය යුතු බව අප පිළිගත යුතුයි. ඒ වගේම දක්ෂ තරුණ පිරිසකට රාජ්‍ය පාලනයට සම්බන්ධ වීම සඳහා අවස්ථාවක් ලබාදිය යුතුයි. මෙවර නාමයෝජනා තුළදී එම ජනතා අපේක්ෂා ඉටුව ඇති බව පෙනෙන්නට තිබෙනවා.
මාතර රාහුල විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හමාර කොට කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක මෘදුකාංග ඉංජිනේරු උපාධිය ලබාගෙන ඇති මා මෙවර මහමැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින්නේ මාතර මහ නගර සභාවේත්, දකුණු පළාත් සභාවේත් මහජන නියෝජිතයකු වශයෙන් සිටිමින් අත්දැකීම් එක් කර ගැනීමෙන් පසුවයි.