Sunday, April 20, 2025
Home » ලංකා ටී10 ක්‍රිකට් ක්‍රීඩක තේරීම 10 දා

ලංකා ටී10 ක්‍රිකට් ක්‍රීඩක තේරීම 10 දා

ක්‍රීඩකයකුට වැඩිම ලංසුව රුපියල් කෝටි 1.5ක්

by mahesh
October 30, 2024 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලාංකේය ක්‍රිකට් පිටියට නැවුම් අත්දැකීමක් එක් කරන ටී10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තේරීම නොවැම්බර් මස 10 වැනිදා පැවැත්වේ. වෙන්දේසියකින් තොරව එදින ටී10 ක්‍රිකට් ක්‍රීඩක කෙටුම්පත එළිදැක්වෙන අතර, කණ්ඩායම් හයක සහභාගිත්වයෙන් දෙසැම්බර් 12 දා තරගාවලිය ආරම්භ වේ. දේශීය හා ජාත්‍යන්තරයේ නම ගිය ක්‍රීඩකයන් එක්වන ලංකා ටී10 තරගාවලියේ අවසන් මහා තරගය 22 දා පැවැත්වීමට නියමිතය. එම කණ්ඩායම් හය ශ්‍රී ලංකාවේ ප්‍රකට නගර හයක් කේන්ද්‍ර කරගනිමින් නම් කිරීමට සූදානම් වේ.

තරගාවලියේ කොන්දේසි අනුව සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයන් 17ක් සංචිතයට නම් කළ හැකි අතර, අවම වශයෙන් ක්‍රීඩකයන් 15ක් සංචිතය සඳහා තෝරාගත යුතු වේ. ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ අවසන් දිනය ලබන මස 1 දා වන අතර ඍජුවම කොන්ත්‍රාත්ගත වන ක්‍රීඩකයන්ට ගිවිසුම් ගතවීමේ අවසන් දිනය ලබන මස 5 දා වේ. කණ්ඩායමක් එය එක් එක් කාණ්ඩයෙන් ක්‍රීඩකයන් හය දෙනෙකු සමඟ ඍජුවම ගිවිසුම් අත්සන් කළ යුතු අතර, ලෝකයේ අති දක්ෂ එක් සුවිශේෂී (one Icon player) ක්‍රීඩකයෙක් අමෙරිකානු ඩොලර් 50,000ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.5ක් පමණ) උපරිමයකට යටත් කොට ඇත. ඒ සඳහා ශ්‍රී ලංකාවේ හා විදෙස් රටක ක්‍රීඩකයෙක් අනිවාර්යයෙන් සම්බන්ධ කරගත යුතු වේ. ‘බී’ කාණ්ඩයෙන් ද, දේශීය සහ විදේශීය ක්‍රීඩකයකු බැගින් එක්කර ගත යුතු වේ.

කෙටුම්පත සම්පූර්ණ කිරීමට වට 11ක් ඇති අතර, පළමු වට දෙකේදී, අමෙරිකානු ඩොලර් 35,000 (‘ඒ’ කාණ්ඩයේ) ​​බැගින් (ශ්‍රී ලංකා රුපියල් කෝටියක් පමණ) ගෙවා ශ්‍රී ලාංකිකයකු සහ එක් විදේශිකයකු ලෙස මුල් පෙළේ ක්‍රීඩකයන් දෙදෙනකු තෝරාගත යුතුවන අතර, තුන්වැනි සහ සිව්වැනි වටයේදී තවත් ක්‍රීඩකයන් දෙදෙනකු, අමෙරිකානු ඩොලර් 20,000 බැගින් ගෙවා තෝරා ගත යුතු වේ.

මේ ආකාරයෙන් අමෙරිකානු ඩොලර් 10,000 බැගින් හා ඩොලර් 2,500 බැගින් මිල තීරණය කොට ක්‍රීඩකයන් මිල දී ගත හැකිය. සිම්බාබ්වේ හා බටහිර ඉන්දීය කොදෙව් යන රටවලින් නැඟී එන ක්‍රීඩකයකු අමෙරිකානු ඩොලර් 2,500කට තෝරා ගැනීමේ අයිතිය කණ්ඩායම්වලට ලබාදී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT