Monday, April 21, 2025
Home » කමිඳු ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉහළින්ම

කමිඳු ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉහළින්ම

by mahesh
October 30, 2024 1:00 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර

අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ පිතිකරුවන් අතර ඉහළම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහිත පිතිකරු බවට පත්වීමට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් සමත්ව තිබේ.

මෙවර ශූරතාවලියේදී (2023-25) කමිඳු 94.30ක ලකුණු රැස් කිරීමේ සාමාන්‍යයක් පවත්වා ගෙන ඇති අතර, ටෙස්ට් තරග 8ක් ක්‍රීඩා කරමින් සෑම තරගයකදීම අඛණ්ඩව අර්ධ ශතක රැස් කළ ලොව පළමු පිතිකරු බවට පත්වීමට සමත්වූ කමිඳු මෙවර ශූරතාවලිය යටතේ ක්‍රීඩා කර ඇති තරග සංඛ්‍යාව 7කි. එහිදී ශතක 5ක් සහ අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 943ක් රැස් කිරීමට ඔහු සමත්ව සිටී.

මේ සාමාන්‍ය ගණනය කිරීම සඳහා භාවිත කරගෙන ඇති ටෙස්ට් ඉනිම් සංඛ්‍යාව 10කි. මෙහි දෙවැනි ස්ථානය ඉන්දියාවේ යෂස්වි ජයිස්වාල්ට (59.65) හිමිව ඇති අතර, පාකිස්තානයේ සල්මාන් අගා (57.23), එංගලන්තයේ ජෝ රූට් (56.45) සහ නවසීලන්තයේ රචින් රවින්ද්‍ර (56.40) පිළිවෙළින් තෙවැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා හිමිකරගෙන සිටිති.

ශූරතාවලියේ ලකුණුලාභීන් අතර 5 වැනි තැන කමිඳුට හිමිව ඇති අතර, එහි පළමු තැන ජෝ රූට් සතුවී ඇත්තේ ලකුණු 1750ක් රැස් කිරීමෙනි. කෙසේ වෙතත් ඔහු ඒ සඳහා තරග 19ක් ක්‍රීඩා කර ඇති අතර, කමිඳුට ඉදිරියෙන් සිටින ජයිස්වාල් (1372) තරග 13ක්, බෙන් ඩකට් (1290) තරග 19ක්, සැක් ක්‍රව්ලි (1123) තරග 16ක් සහ හැරී බෲක් (1113) තරග 14ක් ක්‍රීඩා කර තිබේ. 2022 වසරේ ටෙස්ට් වරම් ලබමින් සිය පළමු තරගයට ක්‍රීඩා කළ කමිඳු එහිදී ලකුණු 61ක් රැස් කර තිබූ අතර, ඒ අනුව මේ වන විට රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1004කි. ඒ සමඟ ලොව වේගවත්ම ටෙස්ට් ලකුණු 1000 පසු කළ පිතිකරුවන් අතර සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සමඟ සම දෙවැනි ස්ථානයට පත්වීමට ද කමිඳුට හැකි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT