රියැදුරුට සිහිය එද්දී රන් මුදුව – සල්ලි නෑ
කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයකට ගොඩවූ පුද්ගලයකු එම ත්‍රිරෝද රථයේ රියැදුරාට විෂ මිශ්‍ර කළ කිරි පැකට්ටුවක් බීමට සලස්වා සිහි නැති කර ඔහු සතුව තිබුණු රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වටිනා රන් මුදුවක් හා රුපියල් දහසය දහසක මුදලක් කොල්ලකා පලා ගිය පුවතක් කටුගස්තොටින් වාර්තා වේ.
මෙම කොල්ලකෑම සිදු කළ පුද්ගලයා මහනුවර සිට කටුගස්තොටට යෑමට ත්‍රිරෝද රථයකට ගොඩවී පළමුව කටුගස්තොට මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානය දෙසට දිවෙන මාර්ගය දක්වා පැමිණ තිබේ. එසේ පැමිණි පුද්ගලයා ත්‍රිරෝද රථයෙන් බැස ගොස් කිරි පැකට් දෙකක් රැගෙන නැවත පැමිණ ඉන් එක කිරි පැකට්ටුවක් රියැදුරාට බොන්න දී තිබේ. පසුව මෙම පුද්ගලයා ත්‍රිරෝද රථය මඩවල දෙසට ධාවනය කරන ලෙසට රියැදුරාට දන්වා ඇති අතර, රියැදුරා ත්‍රිරෝද රථය ධාවනය කරමින් සිටියදී කටුගස්තොට පුංචි පාලම අසලට එන විට ඔහුට ක්ලාන්ත ගතියක් දැනී තිබේ. පසුව පියවි සිහිය ලැබූ රියැදුරා ඔහු පැලඳ සිටි රන් මුදුව හා ඔහු සතුව තිබුණු රුපියල් දහසය දහසක මුදල ත්‍රිරෝද රථයෙන් ආ පුද්ගලයා සොරාගෙන ගොස් ඇති බව දැනගෙන ඇත. තමන් වංචනිකයකුට හසු වූ බව දැනගත් රියැදුරා ඒ සම්බන්ධව කටුගස්තොට පොලිසිය වෙත පැමිණිලි කර තිබේ. මෙම කොල්ලකෑමට ලක්ව ඇත්තේ අරුප්පල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකි.
මෙම කොල්ලයට සම්බන්ධ පුද්ගලයා සොයා මේ වන විට කටුගස්තොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ජයසිංහ මහතා කියා සිටියේ මෙවැනිම ක්‍රියාවන් කිහිපයක් පසුගිය දිනවල කටුගස්තොට පොලිස් බලප්‍රදේශය තුළ වාර්තා වී ඇති බවත්, එවැනි වංචනිකයන්ට හසු නොවන්නට ජනතාව වග බලා ගතයුතු බවත්ය.