නාගරික සංවර්ධන අධිකාරියට අයත් බව කියන මහර ප්‍රදේශයේ පිහිටි මහල් හතරකින් පමණ සමන්විත බහුකාර්ය ගොඩනැඟිල්ලේ වෙළෙඳසල් ජනතාවට කුලී පදනම මත ලබා නොදී වසා ඇති බැවින් මෙම ප්‍රදේශයේ මත්ලෝලීන් විවිධ අපචාර ක්‍රියා සිදු කිරීම සඳහා එය යොදා ගන්නා බව ප්‍රදේශවාසීහු පවසති.
මේ වන විට මෙම ගොඩනැඟිල්ලේ සවි කර තිබූ තඹ කම්බි, විදුලි රැහැන් ඇතුළු විවිධ භාණ්ඩ මත්ලෝලීන් ගලවාගෙන ගොස් ඇති අතර, ගොඩනැඟිල්ල ඉදිකර වසර 8ක් පමණ ගතවෙද්දී එය ක්‍රමානුකූලව ප්‍රමිතියෙන් තොරව ඉදි කර ඇති බැවින් එහි සමහර බිත්ති පුපුරා අබලන් තත්ත්වයට පත්ව ඇති බවට ද ප්‍රදේශවාසීහු මැසිවිලි නඟති. මෙම ගොඩනැඟිල්ල තුළ ආසන රැසකින් සමන්විත ශ්‍රවණාගාරයක් පවා ඉදි කර තිබී ඇති නමුත් මේ වන විට මෙම ගොඩනැඟිල්ල වසා දමා ඇති බැවින් එම ශ්‍රවණාගාරයද විනාශ වෙමින් පවතින බව ද ඔවුහු පෙන්වා දෙති. මීට අමතරව මෙම භූමියට ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් විසින් කැළි කසළ බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශය අපවිත්‍රව දැඩි දුඟදක් හමන බව එහි ගිය අපට ද දැක ගැනීමට හැකි විය.
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් බව කියන මහර ප්‍රදේශයේ පිහිටි මහල් හතරකින් පමණ සමන්විත බහුකාර්ය ගොඩනැඟිල්ලේ වෙළෙඳසල් ප්‍රතිසංස්කරණය කර ජනතාවට කුලී පදනම මත එම වෙළෙඳසල් පවත්වාගෙන යෑමට ඉඩ ලබා දෙන ලෙසට ප්‍රදේශවාසීහු අදාළ අංශවලින් ඉල්ලා සිටිති.