බුලත්සිංහල, යටගම්පිටිය පැරණි පාලම වෙනුවට අලුත් පාලමක් ඉදි වෙමින් පවතින අතර, එම නව පාලමෙහි අවිධිමත්භාවය නිසා ඊට ගම්වාසීන්ගෙන් විරෝධයක් එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් ගම්වාසීන්, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යවා ඇති ලිපියේ මෙසේ සඳහන් වේ.
“යටගම්පිටිය නව පාලමේ පැති බැමි ඉදි කෙරෙනුයේ පැරණි පාලමට වඩා අඩියකටත් වැඩි ප්‍රමාණයක් පහතිනි. එම පැති බැමි ගඟේ කණ්ඩි මට්ටමටත් වඩා පහත් ය. එම පැති බැමි මත බීම් තබා කොන්ක්‍රීට් දැමූ විට අඩි 05ක් පමණ උසින් පාලම ඉදිවේ. ඒ අනුව අධික වර්ෂා කාලයේදී ගඟ පිටාර ගැලූ විට යටගම්පිටිය, නාගහදොළ, මගුරුවල සහ දියවේල්ල යන ගම්මානවල නිවාස 80ක් පමණ ජලයෙන් යටවීමේ අවදානමක් පවතියි. පසුගිය දිනවල ඇද හැලුණු වර්ෂාවෙන් ද ජල මට්ටම, දැනට වැඩ අවසන් කර ඇති පැති බැමිවල ඉහළ කොටස දක්වාම පැමිණි අතර තාවකාලික පාලම ද ජලයෙන් යට විය. එබැවින් පෙර පාලමේ උසටවත් පාලම නොසෑදුවහොත් ඉදිරි මැයි මාසයේ අධික වර්ෂාව සමඟ ගම්මාන රැසක් ජලයෙන් යටවීම වළක්වාගත නොහැකිය. රථ වාහන 200ක්, 300ක් පමණ දිනපතා මෙම මාර්ගයේ ගමන් කරන අතර මෙම නව පාලම නිසි ආකාරයෙන් සකස් කර දෙන ලෙස ඉල්ලනවා.”
මෙහිදී ගම්වාසී චන්ද්‍රරත්න කපුගේ මහතා මෙලෙස අදහස් දැක්වීය.
“අපේ ප්‍රදේශය නිතර ජල ගැලීම්වලට ගොදුරු වන ප්‍රදේශයක්. කුකුළේ ගඟ ව්‍යාපෘතිය කරන විටත් පියදස්සී හාමුදුරුවෝ ඇතුළු ගම්වාසීන් විරුද්ධ වුණෙත් ඒකයි. අද කුකුළේ ගඟ, වාන් දොරටු ඇරී යාමෙන් අපේ ගම් යට වෙනවා. රෑට නින්දක් නැහැ. දරු පැටව් උස්සගෙන දුවන්න වෙනවා. ඒ නිසා ජනතාව පීඩාවට පත් කරන ව්‍යාපෘති කරන්න එපා. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගන්න නම් තව අඩි 3ක්වත් පාලම උස්සන්න කියා ඉල්ලනවා. එසේ නොවුණොත් අපි මේකට විරෝධය දක්වනවා.”