Home » ජනතාව නැවත ගැටලු රැසකට මුහුණදීලා

ජනතාව නැවත ගැටලු රැසකට මුහුණදීලා

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායක

by mahesh
October 30, 2024 1:00 am 0 comment

නෙරංජලා වික්‍රමසිංහ සහ මැද කොළඹ සමූහ - ආරියරත්න ගනේගොඩ

නව රජය පත්ව මාසයක් සම්පූර්ණ වී ඇති බවත්, එවැනි අවස්ථාවක ජනතාව සහ රටේ ආර්ථිකය නැවතත් ගැටලු රැසකට මුහුණදී ඇති බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායක මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ කොළඹ පැවැති මැතිවරණ ජන හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“මේ මැතිවරණය එන්නෙම මැතිවරණයක් ඉවර වෙලා බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් ලැබූ වෙලාවේ. එක එක ලොකු ලොකු නම් තියෙන අය මඟහැරිය මැතිවරණයක් විදිහට මේ මැතිවරණය සලකන්න පුළුවන්. අපි මේ මැතිවරණයට ඉදිරිපත් වුණේ පළමු පෙළ නම් ටික මැතිවරණය මඟහරින අවස්ථාවක. බය කියන එක අපේ බොහෝ අයගේ ඇඟේ නෑ. සද්ද බද්ධ අඩු වුණත් බය නෑ. අපි එන දේකට ඔට්ටුයි. හැබැයි සද්ද දාන්නෙ නෑ. පසුගිය අවුරුදු දෙක අපි සද්දෙ දදා හිටියා නම් ජනතාව තවම අමාරුවේ. සද්දෙ දැම්මා නම් ඡන්දෙත් දිනන්න තිබුණා.

අපි ප්‍රශ්න ඉවර කළ නිසා ප්‍රශ්න අමතක කළ ජනතාව වෙනසකට ඡන්දය දුන්නා. ඒ ජනතාවට තේරුණේ නෑ බලාපොරොත්තු වූ වෙනස මොකක්ද කියලා. දැන් අපට තියෙන්නේ බලාපොරොත්තු වූ වෙනස රටට හොඳ වෙයිද නරක් වෙයිද කියලා බලන එකයි.

නව රජයට මාසයයි ගියේ. රටේ ජනතාවට වගේම ආර්ථිකයට ආයෙමත් ප්‍රශ්න මතු වෙනවා. රනිල් වික්‍රමසිංහ අවුරුදු දෙකක් රට පාලනය කළා. ණය ගත්තේ නෑ. රාජ්‍ය ආදායම්වලින් සියලු කටයුතු කළා. රජයේ සේවක වැටුප් වැඩි කළා. අස්වැසුම දුන්නා. ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ලක් දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල දුන්නා. විශ්‍රාමිකයන්ට රුපියල් තුන්දාහක් දුන්නා. කඩා වැටුණු ආර්ථිකයත් එක්ක මේ ටිකත් කළා. ණය නොගෙන ඒ ටික කරන්න රනිල්ට පුළුවන් වුණා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT