Sunday, April 20, 2025
Home » දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කිරීම රටේ ඉදිරි ගමනට වාසියක්

දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කිරීම රටේ ඉදිරි ගමනට වාසියක්

සර්වජන බලය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි

by mahesh
October 30, 2024 1:00 am 0 comment

අමායා රන්දුනු

දේශීය ව්‍යාපාරික ප්‍රජාව සැමවිටම ශක්තිමත් කළ යුතු බවත්, එය රටේ ඉදිරි ගමනට මහත් වාසියක් බවත් සර්වජන බලය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතා පැවැසීය.

ඒ මහතා ඒ බව සඳහන් කළේ පසුගියදා මහරගම පැවැති මහජන හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“සර්වජන බලයෙන් අපි එන්නේ අපේ ව්‍යාපාරිකයන් නඟාසිටුවීමටයි. අපේ නායකතුමා කතා කරන්නේ ව්‍යවසායක රාජ්‍යයක් පිළිබඳවයි. එය ප්‍රායෝගිකයි. අපි බොරු පොරොන්දු දෙන්නේ නෑ. රාජ්‍යයක් ගොඩනැඟීමට නම් ශක්තිමත් දේශීය ව්‍යාපාරික පෙළන්තියක් බිහි විය යුතුයි. ඔවුන් හරහා රටට ඩොලර් ගෙන ඒමට පුළුවන්. ව්‍යාපාරිකයෙක් ලෙස මා ඉදිරියට පැමිණ තවත් බොහෝ පිරිසකට උදවු කර ඔවුන්ගේ ව්‍යාපාරත් ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙනවා. එය මා සතු යුතුකමක්. විශේෂයෙන්ම අත්වැල වැඩසටහන හරහා කාන්තාවන් දෙලක්ෂයකට අධික පිරිසක් ශක්තිමත් කරන්න අප කටයුතු කර තිබෙනවා.

මේ ප්‍රායෝගික, ආදර්ශවත් වැඩපිළිවෙළින් රටට, ඔවුන්ගේ පවුල්වලට විශාල මෙහෙයක් සිදු වෙනවා. අපි සුළුවට ව්‍යාපාර අරඹා සාර්ථක කරගෙන ඉදිරියට පැමිණ සමාජයට මෙහෙයක් සිදු කරනවා. එළැඹෙන මහමැතිවරණයට අප තරග කරන්නේ රට වෙනුවෙන් යම් සේවයක් සිදු කිරීමටයි.

මේ මොහොතේ ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා ප්‍රමුඛ වන්නේ අපේ පක්ෂයයි. ජනතාව වේගයෙන් අප වටා එක්වෙමින් සිටිනවා. නිවැරදිව ආණ්ඩුව ඉදිරියට ගෙන යා හැක්කේ ශක්තිමත් විපක්ෂයකටයි. පාර්ලිමේන්තුවට අපි එන්නේ රටට අහිමි වූ ශිෂ්ටසම්පන්න දේශපාලනය නැවත පොළොවේ පැළ කරමින්, දේශපාලන සංස්කෘතිය වෙනස් කර මේ දුෂිත දේශපාලනය තුරන් කරලීමටයි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT