ලංකාවේ මුල්ම අතුරු මැතිවරණය 1931 නොවැම්බර් මස 14 වැනි දින “රුවන්වැල්ල” ආසනය සඳහා පැවැත්විණ. එම අතුරු මැතිවරණයෙන් ලංකාවේ අතුරු මැතිවරණයකින් ජය ගත් එකම කාන්තාව ලෙස ඇඩ්ලින් මොලමුරේ මහත්මිය තේරීපත්වූවාය.
දෙවන අතුරු මැතිවරණය උතුරු කොළඹ ආසනය සඳහා 1932 නොවැම්බර් මස 12 වැනි දින පවත්වනු ලැබීය.
උතුරු කොළඹ අතුරු මැතිවරණය පැවැත්වීමට හේතුවූයේ එම අසුන නියෝජනය කළ දොස්තර සරවනමුත්තු මහතාට ආසනය අහිමිවීම නිසා බැවිනි. එහිදී පැවති අතුරු මැතිවරණයේදී ආසනය අහිමිව සිටි දොස්තර සරවනමුත්තු මහතා එම මැතිවරණයේදී තම භාර්යාවට සහයෝගය ලබා දීම නිසා මැතිවරණ නීති අනුව සරවනමුත්තු මහත්මියට තම අසුන අහිමි වූවාය.
ඒ සඳහා ඊට පසු පැවති අතුරු මැතිවරණයේදී එම අසුනට සරවනමුත්තු මහත්මිය වැඩි ඡන්ද 8106ක් ලබා ගනිමින් ජයග්‍රහණය අත්කර ගත්තාය.
ඊළඟ අතුරු මැතිවරණය “බළපිටිය” මැතිවරණ කොට්ඨාසය සඳහා පවත්වනු ලැබීය. ඒ සඳහා ඡන්ද අපේක්ෂකයන් තිදෙනෙක් ඉදිරිපත් වූ අතර ඉන් ජයග්‍රහණය කළේ ඡන්ද 11807ක් ලබා ගත් ආතර් ද සොයිසා මහතාය.
එවකට දකුණු කොළඹ මන්ත්‍රීවරයාව සිටි ඒ.පී. ද සොයිසා මහතාට සහ බදුල්ල මන්ත්‍රීව සිටි ඩී.එච්. කොතලාවල මහතාට ද අධිකරණ තීන්දුවකින් ආසන දෙකම අහිමිවීම නිසා එම ආසන දෙකටම අතුරු මැතිවරණ පැවැත්වීමට රජය තීරණය කළේය. පසුව පැවති අතුරු මැතිවරණ දෙකේදීම නැවතත් එම මන්ත්‍රීවරු දෙදෙනාම තෝරා පත් කර ගැනීමට එම ආසන දෙකේම ඡන්ද දායකයන් කටයුතු කිරීම විශේෂ සිදුවීමක් ද විය.
1944 වනවිට “බිබිල” ආසනය නියෝජනය කළ ඒ.සී. රඹුක්පොත මහතා හදිසියෙන් මියගිය අතර ඒ සඳහා අතුරු මැතිවරණයක් 1944 ඔක්තෝබර් මස පවත්වන ලද අතර ඒ සඳහා ද පසුව අතුරු මැතිවරණයක් පැවැත්විණ.
එම අතුරු මැතිවරණය සඳහා එස්.ඒ. පීරිස් මහතා සහ ගාල්ලේ විජයානන්ද දහනායක මහතා තරග කළ අතර, එහිදී ගාල්ලේ දහනායක මහතා එස්.ඒ. පීරිස් මහතා අතින් පරාජයට පත් විය.
නමුත් එහිදී පීරිස් මහතාට ද විරුද්ධව ඡන්ද පෙත්සමක් විජයානන්ද දහනායක මහතා ඉදිරිපත් කළ අතර එම පෙත්සම තනිකරම විජයානන්ද මහතාම මෙහෙයවීය. ඔහුට නීතිඥයන් වුවමනා නොවීය.
එම මැතිවරණ පෙත්සම අනුව පීරිස් මහතා පරාජයට පත් වී විජයානන්ද දහනායක මහතා ‘බිබිල’ ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙනු ලැබීය. එහිදී බිබිල ආසනයෙන් දහනායක මහතා ජයග්‍රහණය කළේ පීරිස් මහතාට වඩා වැඩි ඡන්ද 1108ක් ලබා ගනිමිනි.
එදා බිබිල ආසනයෙන් දේශපාලන ගමන ආරම්භ කළ විජයානන්ද දහනායක මහතා අගමැති ධුරය ලබා ගැනීමට ගමන් ආරම්භ කළේ ද මෙම බිබිල ආසනයෙන් ලැබූ පන්නරයෙන්ය.
1947 මහමැතිවරණයෙන් අවිස්සාවේල්ල ආසනය ජය ගත් පිලිප් ගුණවර්ධන මහතාට විරුද්ධව වැඩ වර්ජනයක් මෙහෙයවීම යටතේ ඡන්ද පෙත්සමක් ඉදිරිපත් වූ අතර එය විභාග කළ අධිකරණය පිලිප් ගුණවර්ධන මහතාගේ මන්ත්‍රී ආසනය අහිමි කළේය.
එනිසා අවිස්සාවේල්ල ආසනය සඳහා 1948 අප්‍රේල් මස 19 වැනි දින අතුරු මැතිවරණයක් පැවැත්වූ අතර පිලිප් ගුණවර්ධන මහතාට දැක්වූ ගෞරවයක් ලෙස වෙනත් කිසිම අපේක්ෂකයෙක් ඒ සඳහා ඉදිරිපත් නොවී එම අවස්ථාව ඔහුගේ භාර්යාව වන කුසුමා ගුණවර්ධන මහත්මිය වෙත ප්රදානය කිරීමට තීරණය කර, ඇයට එම අසුන නිතරගයෙන්ම ලබා ගැනීමට අවස්ථාව උදාකර දුන්හ.
1956 තුන්වැනි පාර්ලිමේන්තු කාලය තුළදී වැලිමඩ ආසනය සඳහා ද අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදු වූයේ 1952දී එම අසුනේ මන්ත්‍රීවරයාව සිටි කේ.එම්.පී. රාජරත්න මහතා 1952 මැතිවරණයට ඉදිරිපත් වී නිසි පරිදි මැතිවරණ වියදම් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් අධිකරණය ලබා දෙන ලද තීන්දුවක් අනුවය.
රාජරත්න මහතාට ආසනය අහිමිවීම නිසා වැලිමඩ ආසනයට අතුරු මැතිවරණයක් පැවැත්වූයේ 1957 සැප්තැම්බර් මස 07 වැනි දිනදීය. ඒ සඳහා රාජරත්න මහතාගේ බිරිය වන කුසුමා රාජරත්න මහත්මිය ඉදිරිපත් වූ අතර, ප්‍රතිවාදියා ලෙස එම්.බී.ඒ. ජයසුන්දර මහතා තරගයට ඉදිරිපත් විය.
එම වැලිමඩ අතුරු මැතිවරණයේදී කුසුමා රාජරත්න මහත්මිය එම අසුන ජයග්‍රහණය කළේ, ජයසුන්දර මහතාට ලැබුණු ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ඡන්ද 11453ක් ලබා ගනිමිනි.
1965 මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ඩී.සී.ඩබ්ලිව්. කන්නන්ගර මහතා, බණ්ඩාරගම ආසනය සඳහා තරග කළ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කේ.ඩී.ඩී. පෙරේරා මහතාය. එහිදී කන්නන්ගර මහතා පරාජය කළ, පෙරේරා මහතා වැඩි ඡන්ද 3421කින් බණ්ඩාරගම ආසනය ජයග්‍රහණය කළේය.
පසුව පෙරේරා මහතාගේ පත්වීමට විරෝධය පළ කරමින් ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළ අතර ඒ අනුව පෙරේරා මහතාට ද බණ්ඩාරගම ආසනය අහිමි විය. එනිසා 1967 ඔක්තෝබර් මස 20 වැනි දින නැවත බණ්ඩාරගම ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදු විය. ඒ සඳහාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස එම ආසනය සඳහා තරග කොට පෙරේරා මහතා නැවතත් එම ආසනය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවේදී බණ්ඩාරගම මන්ත්‍රීවරයා වශයෙන් කථානායකවරයා ඉදිරියේදී දිවුරුම් දෙන ලදි.
පසුව ඩඩ්ලි සේනානායක මහතාගේ රජය යටතේ අතුරු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව උදාවූයේ දැදිගම ආසනය සඳහාය. ඒ අගමැතිව සිටි දැදිගම මන්ත්‍රී ඩඩ්ලි සේනානායක මහතා අභාවප්‍රාප්ත වීම නිසාය. 1973 ජූලි මස 09 වැනි දින පැවති එම මැතිවරණයෙන් රුක්මන් සේනානායක මහතා වැඩි ඡන්ද 4509 කින් දැදිගම මන්ත්‍රීවරයා ලෙසට තේරී පත්විය.
එයට පසුකලකදී ජනරජ පනතට විරෝධය පළකරමින් ජේ.ආර්. ජයවර්ධන මහතා තමන් නියෝජනය කළ දකුණු කොළඹ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය. එනිසා පුරප්පාඩු වූ දකුණු කොළඹ ආසනය සඳහා මන්ත්‍රීවරයකු තෝරා පත්කර ගැනීම සඳහා 1975 ජූලි මස 18 වැනිදා එම අසුන සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට රජය මගින් කටයුතු කරන ලදි.
ඒ අනුව එම අසුන සඳහා ජේ.ආර්. ජයවර්ධන මහතා නැවතත් තරග කිරීමට ඉදිරිපත් වූ අතර ඔහු සමඟ තරග බිමට පැමිණියේ ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතාය. එම අතුරු මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධන මහතා, මහජන ඡන්ද 36919ක් ලබාගෙන සූරියප්පෙරුම මහතාට වඩා වැඩි ඡන්ද 25806ක් ලබාගෙන නැවතත් දකුණු කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පත්විය.
ඒ කාලය තුළම ජනරජ පනතට විරෝධය පළ කරමින් ෆෙඩරල් පක්ෂයේ නායක එස්.ජේ.වී. චෙල්ලනායගම් මහතා ද තමා නියෝජනය කළ කන්කසන්තුරේ ආසනයේ මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස් විය. එම ආසනය සඳහා පුරප්පාඩුවක් පැවතීම නිසා රජය මඟින් 1975 පෙබරවාරි මස 06 වැනි දින එයට ද අතුරු මැතිවරණයක් පැවැත්වීමට ද කටයුතු කළහ.
ඒ සඳහා නාම යෝජනා කැඳවූ අතර නැවතත් එස්.ජේ.වී. චෙල්ලනායගම් මහතා ඒ සඳහා ඉදිරිපත් වූ අතර ඔහු සමඟ තරග කිරීමට ඉදිරිපත් වූයේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් වී. පොන්නම්බලම් මහතාය. චෙල්ලනායගම් මහතා එම අසුනට තරග කළේ ෆෙඩරල් පක්ෂයේ ඡන්ද අපේක්ෂකයා ලෙසය.
එම මැතිවරණයේදී චෙල්ලනායගම් මහතා මහජන ඡන්ද 25927ක් ලබා ගත් අතර කොමියුනිස්ට් පක්ෂයේ පොන්නම්බලම් මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 16470කි. ඒ අනුව චෙල්ලනායගම් මහතා වැඩි ඡන්දයෙන් කන්කසන්තුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස නැවතත් තේරීපත්විය.
1977 මහමැතිවරණයෙන් කලවාන ආසනය දිනා ගත් එක්සත් ජාතික පක්ෂයේ අබේරත්න පිලපිටිය මහතාට ද විරුද්ධව ලංකා කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂක සරත් මුත්තෙටුවෙගම මහතා විසින් අධිකරණය වෙත ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළ අතර ඒ සඳහා විශාල ලෙස සාක්ෂි පරිශීලනය කළ අධිකරණය පිලපිටිය මහතාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන ලදි.
අධිකරණ තීරණය ගැන සැලකිලිමත් නොවූ එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ.ආර්. ජයවර්ධන මහතා තම විධායක බලය යොදා ගනිමින් නැවතත් පිලපිටිය මහතා කලවාන මන්ත්‍රී ධුරයට පත් කළේය.
එය ප්රජාතන්ත්රවාදී ක්‍රමයට බලවත් තර්ජනයක් වීම නිසා ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙටුවෙගම මහතා නැවතත් පිලපිටිය මහතාට විරුද්ධව මැතිවරණ පෙත්සමක් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා පිලපිටිය මහතා රැක ගැනීමට විශාල වෙහෙසක් ගනිද්දි තමන්ට විඳින්නට සිදුවන අයහපත් ප්‍රතිඵල ගැන අවබෝධ කර ගත් පිලපිටිය මහතා ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් එම අසුනෙන් ඉල්ලා අස්විය.
පිලපිටිය මහතාගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ කලවාන ආසනයට නැවතත් 1981 ජනවාරි 12 වැනි දින අතුරු මැතිවරණයක් පැවැත්වූ අතර, එහිදී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් සරත් මුත්තෙටුවෙගම මහතාත්, එක්සත් ජාතික පක්ෂයේ ලයනල් ගුණසේකර මහතා ස්වාධීනවත් තරගයට ඉදිරිපත් වූ අතර සරත් මුත්තෙටුවෙගම මහතා ඡන්ද 13419ක් ලබා ගත් අතර ලයනල් ගුණසේකර මහතාට වඩා එය වැඩිපුර ඡන්ද 2403ක් විය.
1982 මැයි 18 වැනි දින මහර ආසනය සඳහාත් අතුරු මැතිවරණයක් පැවැත්වූ අතර ඒ සඳහා විජය කුමාරතුංග මහතා ඉදිරිපත් විය.
එයට පසු 1984 ඔක්තෝබර් මස 24 වැනි දින මින්නේරිය ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදු වූයේ එහි මන්ත්‍රීවරයාව සිටි මෙරිල් වර්ණන් ද සිල්වා මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීම නිසාය.
එම අතුරු මැතිවරණය සඳහා මෙතෙක් කල් 1977දී කටාන ආසනයට ද 1983දී මහර ආසනයට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ විජය කුමාරතුංග මහතා එම සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී ඔහුගේම ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂයක් පිහිටුවා ශ්‍රී ලංකා මහජන පක්ෂය නමින් ඔහු “මින්නේරිය” ආසනය සඳහා නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කර අතුරු මැතිවරණයට ඉදිරිපත් විය. එම අතුරු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ එස්.බී. විජේකෝන් මහතා අලියා ලකුණින් ඉදිරිපත්වී ඡන්ද 19744ක් ලබා ගත් අතර ‘ඇස’ ලකුණින් තරග කළ විජය කුමාරතුංග මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 10568ක් පමණකි. ඒ අනුව විජේකෝන් මහතා මින්නේරිය මහජන මන්ත්‍රීවරයා ලෙස තේරීපත්විය.
අතුරු මැතිවරණ ගැන විමසීමේදී එකම දිනයකදී අතුරු මැතිවරණ තුනක් බැගින් පැවැත් වූ අවස්ථා දෙකක් ද විය.
ඒ අතුරු මැතිවරණ පවත්වන ලද්දේ 1961 මාර්තු 29 වැනි දින මාතලේ්, රත්ගම හා කුරුණෑගල මැතිවරණ කොට්ඨාස සඳහා වන අතර 1962 ජූනි මස 28 වැනි දින අතුරු මැතිවරණ පවත්වන ලද්දේ මූතූර්, අනුරාධපුරය හා වැලිමඩ යන ආසන සඳහාය.
මේ අනුව බලන කල අතුරු මැතිවරණවලින් ජයගෙන පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරුන් අතර විජයානන්ද දහනායක, වාසුදේව නානායක්කාර සහ සරත් මුත්තෙටුවෙගම යන මහත්වරුන් විශේෂ ලෙස හඳුන්වා දිය හැකිය.
තලල්ලේ ප්රඥාරත්න විදානගමාච්චි