Home » 2001 – 2004 ආණ්ඩුවේ මත ගැටුම්

2001 – 2004 ආණ්ඩුවේ මත ගැටුම්

by mahesh
October 30, 2024 1:00 am 0 comment

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ 11 වන පාර්ලිමේන්තු මැතිවරණය 2000 වසරේ ඔක්තෝබර් මස 10 වැනිදා පැවති අතර ඒ සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් පෙරමුණ ඉදිරිපත් විය. නමුත් ලබා ගත හැකි වූයේ ආසන 107ක් පමණකි. එක්සත් ජාතික පක්ෂය ආසන 89ක් ජයග්‍රහණය කළේය. මේ තත්ත්වය යටතේ පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරග කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවට එක්කර ගනිමින් බහුතර බලය සහිතව ආණ්ඩුව නිර්මාණය කරන ලදි. එහෙත් මෙම හවුල් ආණ්ඩුව ඉතාම කෙටි කාලයකින් විවිධ අර්බුදවලට මුහුණ දුන් අතර එහි උච්ඡස්ථානය ලෙස සටහන් වූයේ මාවනැල්ල ප්‍රදේශයේ සිදුවූ සිංහල – මුස්ලිම් ගැටුම මුල් කර ගනිමින් ආණ්ඩුව සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය අතර ඇතිවූ අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත්වීමය.

ඉන් අනතුරුව පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව 2001 වසරේ සැප්තැම්බර් මස 05 වැනි දින ජනතා විමුක්ති පෙරමුණ සමඟින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් “පරිවාස ආණ්ඩුවක්” පිහිටුවා ගන්නා ලදි. එහෙත් 2001 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් එස්.බී. දිසානායක මහතා ඇතුළු ප්‍රබලයින් පිරිසක් විපක්ෂයට එකතුවීමත් සමඟ පරිවාස ආණ්ඩුවද බිඳ වැටීමට ලක්විය. පාර්ලිමේන්තුව තුළ බහුතර බලය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමියට අහිමිවීම තුළ ආණ්ඩුව විසුරුවා හැර 2001 දෙසැම්බර් 05 වැනිදා මහමැතිවරණය පවත්වන ලදි.

මෙම මහමැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පෙරමුණ සන්ධානයක් ලෙසින් ජය ගත්තේය. දෙසැම්බර් 07 වැනි දින නව අගමැතිවරයා ලෙසින් රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේය. ඒ අනුව විධායක ජනාධිපතිනිය වශයෙන් චන්ද්‍රිකා මැතිනියට ප්‍රතිවිරුද්ධ පක්ෂයක ආණ්ඩුවක් සමඟ කටයුතු කිරීමට සිදුවිය. ආරම්භයේදී ව්‍යවස්ථාවෙන්ම තමන්ට හිමි ආරක්ෂක ඇමති ධුරය පවා ඇය තම ප්‍රතිපාක්ෂික ආණ්ඩුවට ස්වකැමැත්තෙන්ම පවරා දුන්නාය. ජනාධිපතිනිය එහිදී බොහෝ විට උත්සාහ කළේ ජනතා තීන්දුවට හිස නමා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටය. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීමත් සමඟින් උතුරු නැඟෙනහිර එල්ටීටීඊ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් උත්සන්න විය.

2002 පෙබරවාරි මස 22 වන දින රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හා වේලූපිල්ලේ ප්‍රභාකරන් අතර වවුනියාවේදී සාම ගිවිසුමක් අත්සන් කරන ලදි. නෝර්වේජියානු රජය අතරමැදියකු ලෙස මෙහිදී කටයුතු කළ අතර මෙම අත්සන් කිරීමේ මොහොතට ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති ජෝන් වෙස්බර්ග් මහතාද එක්විය. 2003 ජනවාරි පළමුවැනිදා නව වසර උදාව සනිටුහන් වන විට එල්ටීටීඊ සංවිධානය මුලතිව් මුහුදේ නැවකින් නවීන ආයුධ ගෙනැවිත් ඉතා ඉක්මනින්ම ගොඩබාන බවට ආරංචි පැතිර ගියේය. ජාතික ආරක්ෂාව මරු කටට වැටී ඇති බවට බොහෝ කතාබහ ඇති විය. එක්සත් ජාතික පෙරමුණු රජයට දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල විය. 2003 සැප්තැම්බර් මාසයේ ජාතික මහා ක්‍රීඩා උලෙළ යාපනයේ ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට රුපියල් මිලියන 06ක වියදමින් ප්‍රතිසංස්කරණය කළද, ඒ සියලු වැඩ නිමවීමෙන් පසුව ජාතික මහා ක්‍රීඩා උලෙළ 2003 සඳහා ඉඩකඩ දීම එල්ටීටීඊය ප්‍රතික්ෂේප කළේය. පසුව එම ක්‍රීඩා උලෙළේ කටයුතු කොළඹ හා කුරුණෑගල දී කොටස් වශයෙන් සිදු කරන ලදි.

මේ වන විට සාම සාකච්ඡා අසාර්ථක වෙමින් තිබුණු නමුත් දෙපාර්ශ්වය අතර ඇති කර ගත් සටන් විරාමය යටතේ එතෙක් දකුණේ තිබූ සියලුම මුරකපොලු ඉවත් කිරීම නිසා එල්ටීටීඊ යේ අවි ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය කිසිදු බාධාවකින් තොරව දකුණට එවීමට හැකි විය. එහි බරපතළම තත්ත්වය වූයේ පොලිස් හා යුද හමුදා බුද්ධි තොරතුරු අංශයේ සේවය කළ සුනිල් තාබෲ සහ මුතාලිෆ් වැනි දක්ෂ නිලධාරීන් කීපදෙනෙකුටම ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයන්ට ලක්වී දිවි හැර යාමට සිදු වීමය. තවද මේ වන විට ආණ්ඩුව හා එල්ටීටීඊ ය අතර නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීම මත ඔස්ලෝ නගරයේ පැවති සාම සාකච්ඡා ද බිඳ වැටී තිබුණි. ත්‍රස්තවාදීහුද සටන් විරාමය කඩ කරමින් සිටියහ. මෙම අවදානම්සහගත තත්ත්වය තුළ මීට එරෙහි පියවරක් ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකරුවෝ ජනාධිපතිතුමිය වෙත බල කර සිටියහ. සාමයේ නාමයෙන් එල්ටීටීඊය ශක්තිමත් වන විට ඒ විනාශය වළක්වන්නට ඉතා ක්‍රමවත් වැඩපිළිවෙළක් ද සමඟින් ජනතා විමුක්ති පෙරමුණ පොදුජන එක්සත් පෙරමුණ සමඟ එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවා අලුත් දේශපාලන ගමනකට අවතීර්ණ වෙමින් සන්ධානගත දේශපාලනයට පිවිසියේය.

තවද එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය විටින් විට චන්ද්‍රිකා ජනාධිපතිතුමිය සමඟ මතවාදී ගැටුම් ඇති කරගත් අතර පසුව එය උග්‍ර විය. මෙසේ කැබිනට් මණ්ඩලය තුළ වාග් ප්‍රහාර සටන් උග්‍රවීමත් සමඟින් 2003 නොවැම්බර් මස 05 වන දින එක්සත් ජාතික පෙරමුණ යටතේ පැවති ආරක්ෂක අමාත්‍යාංශය, අභ්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ ජනසන්නිවේදන සහ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශ භාරව සිටි තිලක් මාරපන, ජෝන් අමරතුංග සහ ඉම්තියාස් බාකිර් මාකාර් යන ඇමැතිවරුන් වහාම ඉවත් කර එම අමාත්‍යාංශ තමන් යටතට පවරා ගැනීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමිය පියවර ගත්තාය. අමාත්‍යාංශ තුනම තමන් යටතට ගැනීමත් සමඟ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුම උත්සන්න විය. මෙකී අමාත්‍යාංශ තුන තමන් යටතට පවරා ගැනීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීමේදී ද රජයේ මුද්‍රණාලය තුළ එම කාර්ය අඩාළ කිරීමට කටයුතු යෙදුණි. මේ අතර ආරක්ෂක හමුදාවේ ආරක්ෂාව මධ්‍යයේ ගැසට්ටුව මුද්‍රණය කිරීමට සිදුවිය. අනතුරුව ජනාධිපතිනිය විසින් ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා ජනමාධ්‍ය ඇමැති වශයෙන්ද, දි.මු. ජයරත්න මහතා තැපැල් හා විදුලි සංදේශ ඇමැති වශයෙන්ද පත් කරන ලදි. මේ වන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදේශගතව සිටි අතර රටේ අගමැතිවරයා පවා නොමැති අවස්ථාවක ජනාධිපතිතුමිය ගත් මේ තීරණය සම්බන්ධයෙන් බොහෝදෙනා තම අප්‍රසාදය පළ කළහ. තවද මෙම ක්‍රියාව රටේ මූලික නීතියත් සදාචාරයත් එකිනෙකට ගැටෙන අවස්ථාවක් ලෙස ඇතැම් නීති විශාරදයෝ හැඳින්වූහ.

කෙසේ වුවද තවත් පියවරක් ඉදිරියට තබමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය විසින් 2004 පෙබරවාරි මස 06 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට එවකට එක්සත් ජාතික පෙරමුණට වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිව තිබූ පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය. එම ක්‍රියාවද රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට හේතු විය. නාමයෝජනා භාර ගැනීම 2004 පෙබරවාරි 17 වන දින ආරම්භ වී පෙබරවාරි 24 දින දහවල් 12ට අවසන් වන බවත් මැතිවරණය 2004 අප්‍රේල් 02 වන දින පැවැත්වෙන බවත් නිවේදනය කරන ලදි. ඊට පෙර පොදුජන එක්සත් පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ සන්ධානගතවී 2003 මාර්තු මස 10 වැනි දින පක්ෂ දෙකෙහි ඒකාබද්ධ රැලිය නගර සභා පිටියේදී පැවැත්වූ අතර ඒ තුළින් එක්සත් ජාතික පක්ෂය විරෝධි බලය ශක්තිමත් කරන ලදි. මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධුර 105ක් ලබා ගත් අතර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දුන්නේය. එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ ජනතා විමුක්ති පෙරමුණ සිය දේශපාලන ඉතිහාසයේ වැඩිම මන්ත්‍රී ධුර ප්‍රමාණය එනම් 39ක් දිනා ගත් අතර ජාතික ලැයිස්තුවෙන් තවත් තිදෙ‍ෙනක් පත්වූහ. එක්සත් ජාතික පෙරමුණ පරාජයට පත්විය.

විශේෂයෙන් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පෙරමුණු රජය එවකට රටේ සංවේදීම ප්‍රශ්නය වූ එල්ටීටීඊ ත්‍රස්තවාදි ප්‍රශ්නය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ අදූරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාශ්ව අනතුරක පැවතුණි. යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සියයකට අධික පිරිසක් ත්‍රස්තවාදි පිස්තෝල කල්ලි විසින් ඝාතනය කරන විට රජයේ සාම වැඩපිළිවෙළට බාධාවක් ලෙස පවසා එම ඝාතනවලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවීමට වික්‍රමසිංහ රජය කටයුතු කළේය. තවද 2004 වසර දෙසැම්බර් මස සුනාමි ව්‍යසනය ඇතිවීම තුළ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය කොටි සංවිධානය සමඟ සුනාමි සහන මණ්ඩල ගිවිසුමට අත්සන් කිරීමට සූදානම්වීම නිසා ජනතා විමුක්ති පෙරමුණ සන්ධානයෙන් ඉවත්ව නමුත් ආණ්ඩුවට වැටීමට ඉඩ නොදෙමින් සුනාමි සහන මණ්ඩලය අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා පරාජය කිරීමට කටයුතු කළේය. කෙසේ වුවද රනිල් වික්‍රමසිංහ මහතාගේ සාම ගිවිසුමට වඩා වටිනාකමක් එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට ලබා දුන්නේ චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ සුනාමි සහන මණ්ඩල යන්ත්‍රණය බව අවසානයේ සඳහන් කළ යුතුය.

එම්. තාරික්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT