Home » දේශපාලනඥයකු දිවිහිමියෙන් කැපවෙන කෙනකු විය යුතුයි

දේශපාලනඥයකු දිවිහිමියෙන් කැපවෙන කෙනකු විය යුතුයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රනිල් විල්අද්දරගේ

by mahesh
October 30, 2024 1:00 am 0 comment

ව්‍යවසායකයකු ලෙස ගමන ඇරඹූ ඔබ දේශපාලනයට පැමිණියේ ඇයි?

මගේ ව්‍යවසායක ජීවිතය අවුරුදු 17ක්. මේ අවුරුදු 17ම මම කළේ මෝස්තර නිර්මාණකරණය. එය මම දේශපාලනයට ඒමට බලපානවා. මම ගමේ සාමාන්‍ය පවුලක කෙනෙක්. ශිෂ්‍යත්වයෙන් තමා කොළඹ රාජකීය විද්‍යාලයට එන්නේ. ඒ ඉහළ පහළ කියන සමාජ දෙකේම සම්මිශ්‍රණයක් ඇතිව. පසුව වෘත්තීය අධ්‍යාපනයක් ලබා ජාත්‍යන්තර මට්ටමේ රැකියාවකට පිවිසෙනවා. ලෝකයේ තිබෙන ප්‍රසිද්ධ සන්නාමයක් යටතේ තුන්සිය හැටක සේවක පිරිසක් සමඟ වැඩ කරන්නේ කොහොමද කියන එකත්, වෙළෙඳාම සහ සැපයුම කියන ක්ෂේත්‍රත් ආවරණ වන පරිදි වැඩ කළා. පස්සේ මම හිතුවා, එවැනිම ප්‍රසිද්ධ සන්නාමයක් නිර්මාණය කළ යුතුයි කියලා.

මේ විදිහට මගේ දියුණුව මම කරගෙන ගියාට රටේ දියුණුවක් දැක්කෙ නෑ. රට ගියේ පල්ලමට. මම ගියේ ඉහළට. අපි කළේ උඩුගංබලා පිහිනීම. මේකේ අවසානය පහුගිය අවුරුදු දෙකේ අපි හොඳින් අත්දුටුවා. රට බංකොලොත් වුණා. අපි දුක් විඳින්න පටන් ගත්තා. එහිදී මට අවබෝධ වුණා, දේශපාලනය කාටත් බලපාන බව. නිවැරදි දේශපාලනඥයන් ඉදිරිපත් නොවීමෙන් අපි දුක් වින්දා. දේශපාලනඥයන් කළේ මේ කට්ට කා ගෙන ඉදිරියට නොයා තමන්ගේ සුඛ විහරණය ගැන පමණක් සිතා වැඩ කිරීම. මට සාර්ථක ව්‍යවසායකයෙක් විදිහට මගේ පවුල සහ යහළුවන් සමඟ විදෙස් රටක හොඳින් ජීවත් වෙන්න තිබුණා. නමුත් එහෙම ජීවත් වෙලා වැඩක් නෑ. එනිසා උපරිම උත්සාහයෙන් වැටුණු රට ගොඩගන්න, මගේ හැකියාවෙන් නව රැකියා උත්පාදනය කරන්න තීරණය කළා. දේශපාලනයට ආවේම මේ දුක් විඳින ජනතාවගේ දුප්පත්කම නැති කර ඔවුන්ගේ ජීවිත යම්තාක් දුරට හෝ ඉහළට ඔසවා තබන්නයි. එහෙම කළාම පසුතැවීමකින් තොරව ජීවිතයෙන් සමුගන්න වුණත් පුළුවන්.

ඔබේ දේශපාලන ගමන රනිල් වික්‍රමසිංහ මහතා සමඟම ඇරඹීමට තීරණය කළේ ඇයි?

එක නායකයා. දෙක පක්ෂය. රට පාලනය කළ බහුතරයක් නායකයන්ගේ වැරදි නිසා තමයි, අපි රටක් ලෙස බංකොලොත් වුණේ. ජනතාව තමන්ගේ වටිනා ඡන්දය දීලා නියෝජිතයෙක් පාර්ලිමේන්තු යැව්වේ ජනතාවට සහ රටට සේවයක් කරන්න. නමුත් අපි යැවූ විදිහ වැරදියි. පාර්ලිමේන්තුවේ හොරු ඉන්නේ කියනවා නම් ඒ හොරු යැව්වෙත් අපිම තමයි. එතැනදී අපි බැලුවේ අපේ සුඛ විහරණය. ආත්මාර්ථකාමීව අපි අපි දිහා බැලූ නිසා තමා ආත්මාර්ථකාමී මිනිස්සු තේරිලා පාර්ලිමේන්තුවට ගියේ. මෙතැනදී අප නොමඟ යැවූ දේශපාලනඥයන්ගේ වැරදි බහුලයි. අපෙත් වරදක් තියනවා, අපි බුද්ධිමත්, අවංක අය එළියට දැම්මා. මේක පවුලක් වගේ. තාත්තා තමා පවුල රැක ගත්තෙ. අපි ටොෆි කන්න ආසයි කියලා තාත්තා පැය විසි හතරෙම අපිට ටොෆි දෙන්නෙ නෑනේ. ඒක සීමා කරනවා. එහෙම සීමා කරනකොට වෙන කවුරු හරි ඇවිත් ඒ ‍ නොදෙන ටොෆි දෙන්න ගත්තොත් එයා පස්සෙ යනවා. කෑවොත් අවුලක් කියලා දැන දැනත් අපි ඒ පස්සෙ යනවා. අන්න ඒ වගේ තමා ජනතාව. ටොෆි දෙන්නේ දේශපාලනඥයා. එයා බලන්නේ හොඳ හෝ නරක කුමන දෙයකින් හෝ තමා කෙරෙහි නම්මවා ගන්න. මේක කවර දේශපාලනඥයෙක් වත් නවත්තන්නෙ නෑ. රට වැටෙන කල්ම ණය වෙලා හෝ ටොෆි බෙදනවා. එහෙම කරලා රට වැටුණාම අලුත් පරිච්ඡේදයක් පටන් ගන්නවා. ඒකෙන් අපි විනාශයටම යන්නත් පුළුවන්. ගොඩයන්නත් පුළුවන්. නමුත් මෙයින් බොහෝ රටවල් විනාශ වෙන්න පටන් ගත්තා. එහෙම මැරුම් කන්න තිබුණු වෙලාවක, අනෙක් නායකයක් පැනලා දුවපු වෙලාවක එක මනුස්සයෙක් ගිහින් තමුන්ගෙත් නොවන කණ්ඩායමක් එක්ක මේ රට යම්කිසි ස්ථාවරත්වයකට ගෙනාවා. ආර්ථික සංවර්ධන වේගය සාමාන්‍ය තත්ත්වයකට ගෙනාවා. එවැනි නායකත්වයක් තමා මට ගැළපෙන්නෙ. මම ව්‍යවසායකයෙක්. මම හැමවිටම අවදානමක් ගන්න කෙනෙක්. දේශපාලනඥයකු වෙන්න නම් දිවි හිමියෙන් කැපවෙන කෙනකු විය යුතුයි. පැමිණෙන ඕනෑම ප්‍රශ්නයකදී නිර්භයව නිවැරදි තීන්දු තීරණ ගත යුතුයි. කවුරු එක්ක ඩීල් දාලා හරි ඒ ප්‍රශ්නය නිරාකරණය කළ යුතුයි. එවැනි නායකයෙක් තමා රනිල් වික්‍රමසිංහ.

ඔබ හිතනවද තවදුරටත් රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙක් යටතේ මේ රට ගොඩගන්න පුළුවන් කියලා?

එතුමා වැනි අත්දැකීම් තියෙන පුද්ගලයෙක් මේ දේශපාලන ක්ෂේත්‍රයේ නෑ. අද රට පත්ව තිබෙන තත්ත්වයෙන් ගොඩගැනීමට නම් එවැනි නායකයකුගේ දැනුම සහ අත්දැකීම් අත්‍යවශ්‍යයි. නායකයන් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට යමක් ඉගෙනගන්න තියෙන්නේ එතුමාගෙන්. අපි එන්නේ අනාගතය භාර ගන්න. අනිත් නායකයන් ළඟට ගිහින් මට ඉගෙන ගන්න දෙයක් නෑ. රට විනාශ කළ දේශපාලනය ගැන දැනුම ඒ අය ළඟ තියෙනවා.

ඔබ පාර්ලිමේන්තුව නියෝජනය කළොත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් තිබේද?

ආණ්ඩුවට රජයක් පිහිටුවීමට හැකි වෙයිද නොහැකි වෙයිද අපි දන්නෙ නෑ. ඒක තීරණය කරන්නෙ ජනතාව. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ හෝ කොතැන හිටියත් මගේ බලාපොරොත්තුව මේ රටේ දුප්පත්කම නැති කිරීමයි. ඒ සඳහා ව්‍යවසායකත්ව සංවර්ධනය සහ රැකියා බිහි කිරීමට මා ළඟ ප්‍රායෝගික වැඩපිළිවෙළක් තියෙනවා. ඒ වගේම මම සන්නාම නිර්මාණකරුවෙක්. මට අවශ්‍ය අපේ රටින් පිටතට සන්නාම ගෙන යෑම. සෑම ක්ෂේත්‍රයකින් සන්නාමයක් අපට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ ඩිජිටල්කරණයත් එක්ක. ලෝක වෙළෙඳපොළේ තියෙන අපේ හිඩැස් නිවැරදිව සොයාගෙන ඒ පාරෙ අපි ගියොත් තව අවුරුදු පහක් හයක් යනකොට මේ ව්‍යාපාරයෙන්ම පමණක් මේ රට ගොඩ දැමීම මගේ දැක්මක්. ඩොලර් හිඟය එයින් විසඳෙනවා. සියලුම අදියරවල ඉන්න ව්‍යවසායකයන් එක තැනකට ගෙනත් අවසානයේ විදේශ විනිමය ගේන්න පුළුවන් තැනට පත් කිරීම තමයි අරමුණ.

වසර 76ක් පුරා බොරු පොරොන්දු දුන් දේශපාලනඥයන් ජනතාවට එපාවී හමාරයි. එවැනි මොහොතක තමා නවක මුහුණු රැසක් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ. ඔබත් එවැනි නව මුහුණක්. ජනතාව දේශපාලනඥයකුගෙන් බලාපොරොත්තු වන දේ ඉටු කිරීමට ඔබට හැකියාව තිබෙනවාද?

ජනතාව බලාපොරොත්තු වෙන්නේ මහත්මා දේශපාලනය. ඒ කියන්නේ අවංකභාවය පදනම් වූ දේශපාලනයක්. මේ තියෙන දේශපාලන වටපිටාවත් එක්ක ඒක හරි අමාරුයි. සෑම පක්ෂයකම වාගේ ඉන්න නායකයන් බහුතරයක් පිරිහුණු අය. ඒ අතරට අවංක චේතනාවෙන් දේශපාලනයට එනවාම කියන්නෙ ලෙහෙසි දෙයක් නෙමේ. නමුත් චේතනාව හොඳ නම් මේවා ප්‍රශ්න නොවේ. සත්‍ය කවදා හෝ ජය ගන්නවා. ජනතාවත් අවංකභාවයෙන්ම කටයුතු කරන්නේ නෑ. කාට මොනවා වුණත් මට හොඳයි නම් මොකද කියන තැන ඉන්න පිරිසකුත් ඉන්නවා. එහෙම පිරිසක් හිටිය නිසා තමා අපි මේ තැනට වැටිලා ඉන්නේ. නමුත් ජනතාවගේ මතය වෙනස් වෙමින් නිවැරදි මාවතට යමින් පවතිනවා. බෞද්ධයන් විදිහට මේ මනුෂ්‍ය ජීවිතයේ වැරදි දේ නොකර හෘද සාක්ෂියට එකඟව වැඩ කළ යුතුයි. එවිට ජයග්‍රහණය අපි පසුපස එනවා.

දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT