Monday, April 21, 2025
Home » සජිත්ට රටෙන් ඡන්ද අඩු වෙද්දි ගම්පහෙන් වැඩි කළා

සජිත්ට රටෙන් ඡන්ද අඩු වෙද්දි ගම්පහෙන් වැඩි කළා

සමගි ජන බලවේගයේ ගම්පහ ආසනයේ හිටපු සංවිධායක අජිත් මාන්නප්පෙරුම

by mahesh
October 30, 2024 1:00 am 0 comment

උදිත ගුණවර්ධන ඡායාරූපය - සුදත් මලවීර

ගම්පහ ආසන සංවිධායක ධුරය අහිමි වීමට හේතුව විදිහට සමගි ජන බලවේගය සඳහන් කරන්නේ ඔබ ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් හරියට පක්ෂය සංවිධානය නොකළ නිසා බවයි.?

ඒ චෝදනාව ඒ අය නිදහසට කියන කරුණක් විතරයි. සංඛ්‍යා ලේඛන අනුව 2019 ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලය සහ මෙවර ඡන්ද ප්‍රතිඵලය සසඳා බලන්න. මෙවර මගේ සංවිධාන ශක්තිය නිසා අපට හැකියාව ලැබුණා පසුගිය 2019 ජනාධිපතිවරණයට වඩා ඡන්ද පන්දහසක් ලබා ගන්න. මෙවර ගම්පහ ආසනය තුළ ජාතික ජන බලවේගය වෙත ලොකු රැල්ලක් තිබුණා, ඔවුන්ට ඉතාමත් හොඳ සංවිධානයක් තිබුණා.ඒ සියලු තත්ත්වයන් මැද 2019ට වඩා ඡන්ද පන්දහසක් ලබා ගත්තා . ඒ නිසා මගේ සංවිධානයේ දුර්වලකමක් කියන කරුණ වැරැදියි. සජිත් ප්‍රේමදාස මහතා 2019 දී ඡන්ද ලක්ෂ පනස්පහක් ලැබුවා. එදා පැහැදිලිව රටේ තිබුණ තත්ත්වය බැලුවාම ගෝඨාභය රාජපක්ෂ මහතාට ජයග්‍රහණය කිරීමට ලොකු ඉඩක් තිබෙන අදහසක් තිබුණා, ඒත් 2024 දී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බවට පාක්ෂිකයන් තුළ ලොකු විශ්වාසයක් තිබුණා.ඒ නිසා පාක්ෂිකයන් අතර ලොකු පිබිදීමක් තිබුණා.එහෙත් ඡන්ද ප්‍රතිඵලය එද්දි සජිත් තමන් පෙර ලැබූ ඡන්ද ප්‍රමාණය ලක්ෂ දොළහකින් අඩු කරගෙන.ඒත් අපි ගම්පහදි එදා ලැබූ ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගත්තා. ඒ නිසා ගම්පහදි අපි පාස් වෙද්දි සජිත් රටෙන්ම ෆේල් වුණා.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය නියත බව සජබ ය විශ්වාස කළේ කොහොමද?

සජිත් ප්‍රේමදාස මහතා වෙත මන්ත්‍රීවරු පිරිසක් එක්ව යෝජනාවලියක් ඉදිරිපත් කළා, එහිදී ඔහුට ජයග්‍රහණය කළ හැකි මඟ කුමක්ද කියන එක පිළිබඳව අප සාකච්ඡා කළා. අපට අවශ්‍ය වුණේ සමගි ජන බලවේග ආණ්ඩුවක් බිහි කිරීමයි.සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමයි, ඒ සඳහා උපාය මාර්ග පිළිබඳව තමයි අප අවධානය යොමු කළේ.එතැනදී සජිත් අපට කීවා බය වෙන්න එපා අපි සියයට 47 ඉන්නේ කැම්පේන් එක යද්දි සියය පනහ ඉක්මවන්න පුළුවන් කියලා. මම හිතුව ගම්පහ මාලිමාවට රැල්ල තිබුණත් සමස්තයක් විදිහට රටේම තත්ත්වය අනුව සජිත් දිනයි කියලා අප ඒ නිසා ඉතාමත් වෙහෙස වෙලා වැඩ කළා.

2019 දී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කිරීමට ගත් තීරණය ඔහු කළ වරදක්ද?

ඔහු 2019 දී තරග කළේ එක්සත් ජාතික පක්ෂය මූලික කරගත් සන්ධානයකින්. ඔහු රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා විදිහට එක්සත් ජාතික පාක්ෂිකයා තුළ ලොකු කැමැත්තක් ගෞරවයක් තිබුණා. ඒ නිසා තමයි 2019 වගේ අවාසිසහගත පිටියක පවා ඔහු ඡන්ද ලක්ෂ පනස්පහක් ගත්තේ ඒත් ඔහු එජාපයෙන් ඉවත් වෙලා සමගි ජන බලවේගය ආරම්භ කළ පසු සජිත් කියන්නේ කවුද කියන එක සමාජයට නිරාවරණය වුණා. ඔහු 2019 ජනාධිපතිවරණයේ සිට 2024 මහමැතිවරණය තෙක් ඔහුගේ ප්‍රතිරුපය හදා ගන්න රුපියල් කෝටි ගණනක් වියදම් කළා. ඒත් ඔහුට තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය නංවා ගන්න බැරි වුණා.

පසුගිය ජනාධිපතිවරණ පරාජයෙන් පසු සමගි ජන බලවේගය නියෝජනය කළ දේශපාලනඥයන් වගේම සෙසු පක්ෂවල දේශපාලඥයන් මහමැතිවරණය මඟහැරියා ඒ තත්ත්වය තුළ ඔබ මැතිවරණ බිමට පැමිණියා?

ඔව්, ගොඩක් අය ඇතිව තිබෙන අවාසි සහගත තත්ත්වය තුළ මැතිවරණ බිමෙන් ඉවත් වුණා. මට වුණත් තේරුණා මේ සටන පහසු සටනක් නොවෙයි කියලා එවැනි අපහසු තත්ත්වයක පවා මම තීරණය කළා ගම්පහ සමඟි ජන බලවේග පාක්ෂිකයා අතනොහැරීමට. මම දන්නවා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මාව විශ්වාස කරනු ලබන ජනතාවක් ගම්පහ ආසනය මූලිකව ගම්පහ දිස්ත්‍රික්කය පුරා සිටින බවට.මම හිතුවා මට ඒ ජනතා සහාය සමඟ පක්ෂයටද ඡන්ද ප්‍රමාණය වැඩි කර ගැනීමට පුළුවන් කම ලැබෙයි කියලා. ඒ විශ්වාසය තුළ අවාසිය තත්ත්වයට බය වෙන්නේ නැතිව මම තීරණය කළා මැතිවරණයට තරග කිරීමට එහෙත් නාමයෝජනා අත්සන් කර ගෙදර ඇවිත් පැය කිහිපයක් යද්දි මගේ ආසන සංවිධායක ධූරය අයින් කරලා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දුන් කෙනෙකු ගම්පහ සංවිධායක කළා.

නායකයා විදිහට සජිත් මට මාව අයින් කළා කියලා වචනයකින් කතා කර කීවේ නැහැ. දුරකථන ඇමැතුම් පවා මඟහැරියා. නායකයකු නම් තමන් ගත් තීරණය දැනුම් දීමට තරම්වත් කොන්දක් සජිත්ට තිබුණේ නැහැ.

ඔහු ගැන තිබුණු මහජන විශ්වාසය දිනෙන් දින පිරිහෙන්න ඔහුගේ පළා යන ස්භාවයද බලපානු ලැබුවා.එදා රට භාර ගැනීමට අවස්ථාව මඟ හැරියා කියන චෝදනාව මේ හැසිරීම් අනුව ඇත්ත වෙලා තිබෙනවා.

ඔබ අවුරුදු විස්සකට වැඩි කාලයක් ක්‍රියාකාරි ලෙස දේශපාලනය කළ පුද්ගලයකු විදිහට ඔබේ අනාගත දේශපාලන මඟ කුමක්ද?

සිවිල් ඉංජිනේරුවරයකු විදිහට කටයුතු කරන මම ව්‍යාපාරිකයකු විදිහට කටයුතු කරන අතර තමයි කරු ජයසූරිය මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට පැමිණෙන ලෙස ආරාධනා කළේ. ඒ අනුව මම මුලින්ම ගම්පහ මහනගර සභාවේ නගරාධිපතිවරයා විදිහට වැඩ කළා ගම්පහට සංවර්ධන ව්‍යාපෘති රැසක් ගෙනාවේ මම. ඒ සමඟම රාජ්‍ය ඇමැතිවරයකු විදිහටත් ගණේමුල්ල ගුවන් පාලම ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළා. මහමැතිවරණයෙන් පසු මම රටට ගමට සේවය කළ හැකි සුදුසුම දේශපාලන තීන්දුවක් ගන්නවා.

මම තමයි මට ඡන්දය එපා කියලා කැම්පේන් කරන එකම අපේක්ෂකයා.මගේ අංකය අංක 10ය දුරකතනය ලකුණ. මෙවර මහමැතිවරණයේදී මට කිසිවකුගේ මනාප එපා, මමවත් මට මනාපය ලබා දෙන්නේ නැහැ.මට අවශ්‍ය වෙලා තිබෙන්නේ පක්ෂ නායකයා කළ අසාධාරණය රටට පෙන්වීමට. ඔහු සැබෑ නායකයකු නම් අඩුම වශයෙන් මගේ දුරකතන ඇමැතුමකටවත් උත්තර දෙන්න ඕනෑ. එවැනි නායකයකුට රටක් පාලනය කිරීමට දිය යුතුද? එවැනි පුද්ගලයකුට රටක් පාලනය කිරීමට පුළුවන්ද කියන කරුණ සලකා සොයා බැලිය යුතුයි. ඇත්තෙන්ම ඔහුට රටක් පාලනය කිරීමට තරම් හැකියාවක් නැති බව අද වෙද්දි ඔහු විසින්ම ඔප්පු කර අවසානයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT