Home » ගුරු උපදේශක සේවයේ වැටුප් විෂමතා ඉවත් කරන්න

ගුරු උපදේශක සේවයේ වැටුප් විෂමතා ඉවත් කරන්න

නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

by mahesh
October 30, 2024 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයේ වැටුප් පරිමාණවල විෂමතා ඉවත් කර වැටුප් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව නීතිපතිවරයා ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ලංකා ගුරු උපදේශකවරුන්ගේ වැටුප් විෂමතාවන් පවතින බවට පැමිණිලි කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යුරේෂා ද සිල්වා මහත්මිය මෙම දැනුම් දීම කළාය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිනි.

සමස්ත ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවෝ වෙති. පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා සඳහන් කළේ ගුරු උපදේශකවරුන්ගේ වැටුප් ගුරුවරුන්ට වඩා අඩු වැටුප් තලයක පිහිටා ඇති බවය. එමඟින් ගුරු උපදේශකයන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බව ඔහු සඳහන් කළේය. එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යුරේෂා සිල්වා මහත්මිය කියා සිටියේ ගුරු උපදේශකයන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් පරිමාණ අතර යම් විෂමතාවක් ඇතත් වැටුප් ලබාදීමේදී එම විෂමතාවන් ද දුරු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවට පොරොන්දු වන බවය. පෙත්සම්කාර පාර්ශ්වය ඊට එකඟතාව පළ කළේය.

ඒ අනුව දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය ඉදිරියේදී පියවර ගැනීමේ අයිතිය තබා පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට නියම කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT