Sunday, April 20, 2025
Home » IMF සමඟ කෙරෙන සාකච්ඡාවල ප්‍රගතිය රටට ප්‍රකාශ කළ යුතුයි

IMF සමඟ කෙරෙන සාකච්ඡාවල ප්‍රගතිය රටට ප්‍රකාශ කළ යුතුයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ

by mahesh
October 30, 2024 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නායක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන වර්තමාන සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත රටට ප්‍රකාශ කළ යුතු බවත් තමා ජනපති සමයේ මූල්‍ය අරමුදල සමඟ හෝ වෙනත් කාරණයක් ගැන වැදගත් තීරණයකට එළඹුණා නම් ඒ ගැන රටට ප්‍රකාශ කළ බවත් හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් ඉදිරිපත්ව සිටින කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා අතුරුගිරියේදී පෙරේදා (28) පැවති ජන රැලියට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“ගෑස් සිලින්ඩරයෙන් ඉදිරිපත් කර තිබෙන මේ කණ්ඩායම අප පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. පාර්ලිමේන්තුවේ හිටපු සභානායක, හිටපු අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිරිස ඉදිරිපත් කර සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වය ලබාදීම සඳහා සාගල රත්නායක මහතා ඉදිරිපත් කර සිටිනවා. අප රට පාලනය සඳහා පළපුරුදු කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ පළපුරුදු කණ්ඩායමක්. රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයෑම පාර්ලිමේන්තුවට භාර වී තිබෙනවා. අපගේ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගන්නේ පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ අත්දැකීමක් පළපුරුද්දක් ඇති අය අවශ්‍යයි. නැතිනම් පාර්ලිමේන්තුවේ සිදුවන්නේ කුමක්ද? මේ රටේ අනාගතය භාරගන්න පාර්ලිමේන්තුවට ගෑස් සිලින්ඩරයේ මන්ත්‍රීවරුන් පත් කරන්නැයි ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

අප රට භාර ගනිද්දී මූල්‍ය අරමුදලේ විශේෂ වැඩසටහනට 2022දී එකතු වුණා. අපගේ අවසන් ප්‍රතිඵලය කුමක්ද? ණය තිරසර බව නැවත ඇති කරන්නට, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කරන්නට අපට හැකි වී තිබෙනවා. අප ඒ කාර්යභාරයට පියවරෙන් පියවරට ගියා. පළමුවෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා. 2023දී අප ඒ කටයුත්ත අවසන් කළා. ඉන්පසුව අප ද්විපාර්ශ්වික ණය පිළිබඳ මූලික එකඟතාවකට පැමිණියා. අපට ණය දුන් රටවල් දහඅටක්ම ඊට සහභාගි කර ගත්තා. මේ වසරේ ජූනි 26 වැනිදා ඒ වැඩසටහන අවසන් කළා.

ඉන්පසුව අපි වාණිජ ණය ගත් අය සමඟ සැප්තැම්බර් 19 වැනිදා මූලික එකඟතාවකට පැමිණියා. එය අනුමත කළ බව ඔවුන් ඔක්තෝබර් 4 වැනිදා ප්‍රකාශයට පත් කළා. ජනාධිපති අනුර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම එය පිළිගත්තා. ඒ අනුව ණය හිමියන් සියලු දෙනාම අපට ණය ගෙවීමට කල් ලබාදුන්නා. අපි එනකොට ආර්ථිකය හැකිළී තිබුණා. 2023 තුන්වන කාර්තුවේ එනම් ජූලි, අගෝස්තු, සැප්තැම්බර් කාලයේදී අපි මේ රටේ ආර්ථික හැකිළීම නැවැත්තුවා. එදා සිට අද වනතුරු ආර්ථික වර්ධනයක් තිබුණේ. එමෙන්ම අපගේ විදේශ විනිමය ලබාගන්න මූලික අංශ වන විදේශ ආයෝජන, සංචාරක ව්‍යාපාරය, අපනයන සහ විදේශ රැකියාවලින් එන ආදායම වැඩි කරගන්නට අපට හැකියාව ලැබුණා. විදේශ වාණිජ ගනුදෙනුවල සීමා ඉවත් කරන්නට හැකි වුණා. එමෙන්ම උද්ධමනය අඩු කළා. සැප්තැම්බර් මාසය වන විට රට සාමාන්‍ය තත්ත්වයකට පැමිණ තිබුණා. එමෙන්ම 30%කට තිබූ පොලිය 10%කට අඩු කර තිබෙනවා. විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන හයක් දක්වා වැඩි කර තිබෙනවා. එමෙන්ම අප මුදල් අච්චු ගැසීම නතර කළා. එමෙන්ම ආණ්ඩුවේ ආදායම අප භාර ගනිද්දී තිබුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් 8.3යි. 2023 වන විට එය 11.1ක් බවට පත්වුණා.

ආදායම් වියදම් පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 12 සිට සියයට 8.3 දක්වා අඩු කර තිබෙනවා. එදා ඩොලරය තිබුණේ 380කටයි. අද එය 300 දක්වා අඩු කර තිබෙනවා. අවුරුදු 75කට පසු මහ බැංකුවේ මුදල් නැතුව අප මූල්‍ය පාලනයක් ගෙන ගියා.” යැයි පැවසීය.

මේ අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, අපේක්ෂක සාගල රත්නායක, හිටපු මන්ත්‍රී මධුර විතානගේ, කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී රොෂාන් කොළඹගේ, හිටපු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත, කඩුවෙල එජාප සංවිධායක බිනර ජයවර්ධන මහත්වරු ද අදහස් දැක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT