Wednesday, April 23, 2025
Home » රනිල් වගඋත්තරකරුවකු කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
දේශබන්දු පොලිස්පති ධුරයට පත් කිරීම

රනිල් වගඋත්තරකරුවකු කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

by mahesh
October 30, 2024 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) අවසර ලබා දුන්නේය. අදාළ පත්කිරීමට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ මෝසමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අවසරය ලබාදෙන ලදි.

ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම මෝසම සහ පෙත්සම කැඳවන ලදි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීම සඳහා අවසර ඉල්ලා කරුණු ඇතුළත් මෝසමක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරන සමයේ ඔහු වෙනුවෙන් වගඋත්තරකරුවකු ලෙස නීතිපතිවරයා නම් කර සිටිය ද මේ වන විට ඔහු ජනාධිපති තනතුරේ කටයුතු නොකරන බැවින් වගඋත්තරකරුවකු ලෙස පෞද්ගලික මට්ටමින් ඔහුගේ නම ඇතුළත් කිරීමට අවශ්‍ය බව ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කළේය.

එසේම මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් කිහිපදෙනකු වන එවකට අගමැතිව සිටි දිනේෂ් ගුණවර්ධන මහතා සහ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් වූ සාමාජිකයන් කිහිපදෙනකුගේ පෞද්ගලික ලිපිනයන් ඇතුළත් කරමින් මෙම පෙත්සම සංශෝධනය කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම සංශෝධනය ඇතුළත් සංශෝධිත පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එහිදී වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ මෙම සංශෝධනයට අදාළ මෝසම මෙතෙක් තමන්ට නොලැබුණු බවය.

අදාළ පිටපත් ලබා දීමට තමන් කටයුතු කරන බව ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කළේය.

කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඇතුළත් කරමින් පෙත්සම සංශෝධනය කිරීමට අවසර ලබා දුන්නේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව ගොනු කර ඇති සෙසු පෙත්සම් සමඟ මෙම පෙත්සමද නොවැම්බර් මස 11 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT