තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරියගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ව්‍යාජ වරෙන්තුවක් සකස් කර පුද්ගලයකු අත්අඩංගුවට ගත් තෙල්දෙණිය පොලිසියේ වරෙන්තු භාර නිලධාරියා නීතිඥවරයකුගේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙම ව්‍යාජ වරෙන්තුව සම්බන්ධයෙන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් තෙල්දෙණිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට 2023 වසරේ නොවැම්බර් 15 වැනිදා කළ පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර තිබිණි.
වරෙන්තුවට අදාළව සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය සාමාන්‍යයෙන් අත්සන් තබන පෑනේ වර්ණයට හාත්පසින්ම වෙනස් වෙනත් වර්ණයකින් වරෙන්තුවට අත්සන් තබා තිබීම හේතුවෙන් මෙම ව්‍යාජ වරෙන්තුව ගැන කරුණු අනාවරණය වී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මේ ගැන ලද පැමිණිල්ලට අනුව කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ මෙම කූට ලේඛනය තෙල්දෙණිය පොලිසියේ වරෙන්තු භාර නිලධාරියා විසින් සකස් කර ඇති බවය. අධිකරණයෙන් නිකුත් කළ සැබෑ වරෙන්තුව මෙම නිලධාරියා අතින් අස්ථානගත වී ඇති බවත් ඒ වෙනුවට මෙම ව්‍යාජ ලියැවිල්ල සකස් කර ඇති බවත් විමර්ශනයේදී පෙනී ගොස් තිබුණු බව ද උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.
ඒ අනුව රජයේ රස පරීක්ෂකවරයාට අදාළ ලේඛනය ඉදිරිපත් කර පොලිස් නිලධාරියාගේ අත්අකුරු පරීක්ෂාවක් කර ඇති බවත් එහිදී පැහැදිලිවම මෙම නිලධාරියා විසින් කූට ලේඛනය සකස් කර ඇති බවට අනාවරණය වූ බවත් පොලිසිය සඳහන් කරයි.
මෙයට අදාළ නඩුව පෙරේදා (28) කැඳවූ අවස්ථාවේදී පොලිස් සැරයන්වරයා නීතිඥයකු මඟින් අධිකරණයට ඉදිරිපත් වූ බවත් එහිදී ඔහුව ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ බවත් තෙල්දෙණිය පොලිසිය සඳහන් කළේය.