Monday, April 21, 2025
Home » උපන් බිමට එන්න කුවේට් ගුවන් තොටුපොළේ සිටි ශ්‍රි ලාංකික කත මියගිහින්

උපන් බිමට එන්න කුවේට් ගුවන් තොටුපොළේ සිටි ශ්‍රි ලාංකික කත මියගිහින්

by mahesh
October 30, 2024 1:00 am 0 comment

සීගිරිය විශේෂ
කාන්තා­වට අස­නී­ප­යක් නැති බව කියා නිවැ­සි­යන් විදේශ රැකියා නියෝ­ජි­තයා එවා තිබූ පින්තූර

– කුවේට් ගිහින් දින 14යි: පවුලේ අයට සැකයක්
– විදෙස්ගතවී දින තුනකට පසු අසනීපයි කියා සේවය කළ නිවැසියන් රැකියා ආයතනයට ගෙනත් දීලා

මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් කුවේට් ගුවන් තොටුපොළේ රැඳී සිටි ගලේවෙල පදිංචි කාන්තාවක පෙරේදා (28) මියගොස් ඇත. පෞද්ගලික විදේශ රැකියා නියෝජිත ආයතනයකින් ඉකුත් 9 වැනිදා කුවේට් රාජ්‍යයට ගොස් තිබේ. ඇය දින 14කට පසු මිය යෑම ගැන පවුලේ උදවියට සැකයක් ඇති වී තිබේ. කුවේට් ගුවන්තොටුපොළේදී මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල, දේවහුව ලිපිනයේ පදිංචි එම්.ජී. නිරෝෂා දමයන්ති නමැති 48 හැවිරිදි තිදරු මවකි.

මිය­ගිය  එම්.ජී. නිරෝෂා දම­යන්ති

මිය­ගිය එම්.ජී. නිරෝෂා දම­යන්ති

තම මව කිසිම අසනීපයකින් තොරව සතුටින් සිටින බව කියමින් පෞද්ගලික විදේශ රැකියා නියෝජිතවරයා සිය මවගේ ඡායාරූප සහ හඬපට එවමින් තමන් මුළා කළැයි මරණයට පත් කාන්තාවගේ දරුවෝ පවසති.

ඇයට අසනීප තත්ත්වයක් තිබුණේ නම් විදේශ ගත වීමට පෙර සිදුකරන ලද වෛද්‍ය වාර්තා ලබාගත්තේ කෙසේදැයි වහාම හෙළිදරව් කරන ලෙසද එම කාන්තාවගේ සැමියා සහ දරුවන් අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටී.

කුලී නිවසක දිවි ගෙවන තමාගෙන් සහ දරුවන් තිදෙනාගෙන් වෙන්ව ඉකුත් ඔක්තෝම්බර් මස 09 වැනිදා තම බිරිය කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා පිටව ගියේ ගලේවෙල ප්‍රදේශයේ පෞද්ගලික රැකියා ආයතනයකින් බව මිය ගිය අයගේ සැමියා වූ තිලක් ජයසූරිය මහතා පැවසීය.

ඇය විදෙස් ගතවී දින තුනකට පසුව අසනීප තත්ත්වයකට ලක්වූ බව පවසමින් ඇය සේවය කළ නිවැසියන් ඇයව එරට පිහිටි රැකියා නියෝජිත ආයතනයට ගෙනත් දී ඇතැයි තමන්ට හෙළි වූ බවද ජයසූරිය මහතා සඳහන් කළේය.

පසුව තම බිරිය මෙරටට ගෙන්වා ගැනීමට අදාළ නියෝජිත ආයතනය දැනුම්වත් කළ බවත් එහිදී රුපියල් ලක්ෂ හතර හමාරක මුදලක් සහ ගුවන් ප්‍රවේශ පත්‍ර මුදල ඔවුන්ට ගෙවන ලෙස දැනුම් දුන් බවද ඒ මහතා පැවසීය. ඒ අනුව දරුවන්ගේ රන් භාණ්ඩ උකසට තබා තවත් කීහිප දෙනකුගෙන් ණයට ගත් රුපියල් ලක්ෂ දෙකක මුදලක් සහ ඉතිරි මුදල ලංකාවට පැමිණි පසු ලබාදෙන බව සඳහන් කරමින් නීතිඥයකු අත්සන් කළ දිවුරුම් ප්‍ර‍කාශයක් ද රැකියා නියෝජිත ආයතනයට ලබාදුන් බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම කුවේට් රටේ සේවය කරන තම ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවක රැකියා නියෝජිත ආයතන හිමිකරුගෙන් තම බිරිය සම්බන්ධයෙන් විමසා ඇති බවත් එහිදී අදාළ රැකියා ආයතනයේ හිමිකරු ප්‍රකාශ කර ඇත්තේ ලංකාවට යැවීමට හදිසි නම් ඇයගේ මළසිරුර යවන බවට තර්ජනය කර ඇති බවත් ජයසූරිය මහතා පැවසීය.

එවැනි පසුබිමක ඉකුත් 28 වැනිදා අලුයම ගුවන් තොටුපොළට ගමන් කරන විටත් දුරකතන ඇමතුමක් ලබා දී තමන් ලංකාවට පැමිණීම සඳහා ගුවන්තොටුපළට ආ බව තම බිරිය දැනුම්වත් කළ බවත් පසුව පැයක පමණ කාලයක් ගතවෙද්දී කුවේට් තානාපති කාර්යාලය හරහා දුරකතන ඇමතුමක් දී ගුවන්තොටුපොළේ ඇය හදිසියේ මියගොස් ඇති බව දැනුම් දුන් බවත් ඔහු පැවසීය.

මේ බරපතළ චෝදනාව පිළිබඳව කුවේට් රටේ රැඳී සිටින ගලේවෙල ප්‍රදේශයේ පෞද්ගලික විදේශ රැකියා ආයතනයේ හිමිකරුගේ ජංගම දුරකතනයට අප ඇමතුමක් ලබාගෙන මේ පිළිබඳව විමසීමේදී අදාළ කාන්තාව මියගිය බව සනාථ කළේය.

තමන්ට පාඩු කරගෙන එම කාන්තාව මෙරටට ගෙන්විය නොහැකි අතර, ඇය සේවය කළ නිවසට මුදල් ලබාදීම කළයුතු බවත් අසනීප තත්ත්වයෙන් සිටි ඇය ප්‍ර‍තිකාර ලබා ගැනීමට අකමැති වූ බවත් විදේශ රැකියා නියෝජිතයා වැඩිදුරටත් පැවසීය.

දරු­වන් තිදෙනා පියා සමඟ

දරු­වන් තිදෙනා පියා සමඟ

සැමියා තිලක් ජය­සූ­රිය විලාප තබන අයුරු

සැමියා තිලක් ජය­සූ­රිය විලාප තබන අයුරු

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT