පළිගැනීමේ දේශපාලන කලාව සහ ප්රචණ්ඩ දේශපාලන කලාව වෙනස් කිරීමේ මූලාරම්භය ජාතික ජන බලවේගය විසින් ආරම්භ කර තිබෙන බවත්, එසේම සරල ජනාධිපතිවරයෙක් සරල අගමැතිවරියක් එක්ක වැඩ කිරීමට හැකි වාතාවරණයක් දක්වා මේ වෙනකොට ජනතාව පරිවර්තනයවී ඇති බවත් ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නාමල් කරුණාරත්න මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පළ කළේ පෙරේදා (28) කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“ඇත්තටම අපි මේ ආණ්ඩුව තවම අංගසම්පූර්ණ කර නෑ. තුන්දෙනයි ඉන්නේ කරළියේ. තුන්දෙනෙක් කරළියට ඇවිත් මේ වෙනකොට විශාල පරිවර්තනයකට මූලාරම්භයක් ගෙන තියෙනවා. ඒත් එක්කම දැන් පාර්ලිමේන්තු ඡන්දයක් ඇවිත් තියෙනවා. අපි නාමයෝජනා භාර දුන් දවසේ මේ නාළිකා කිසි එකක මේ රටේ කිසිම අකටයුත්තක් කොතැනකවත් සිදු වුණා කියලා වාර්තා වුණේ නෑ. ඇත්තටම දැන් ඡන්දයක් තියෙනවාද කියලවත් හිතෙන්නේ නැති තරමටම සාමකාමී පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා.
පළිගැනීමේ දේශපාලන කලාව සහ ප්රචණ්ඩ දේශපාලන කලාව වෙනස් කිරීමට අපි මූලාරම්භය අරන් තිබෙනවා. සරල ජනාධිපතිවරයෙක්, සරල අගමැතිවරියක් එක්ක වැඩ කිරීමට හැකි වාතාවරණයක් දක්වා මේ වෙනකොට ජනතාව පරිවර්තනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම මෙතෙක් හිටපු ජනාධිපතිවරුන්, මැති ඇමැතිවරුන්, අගමැතිවරුන් මෙතෙක් විඳපු වරප්‍රසාද සහ සැප මොනවාද කියලා රටේ ජනතාවට දැන් අනාවරණය වෙලා තියෙනවා. ජනාධිපති වරප්‍රසාද ආරක්ෂා කරගැනීමට ජනාධිපතිවරුන්ගේ පෙරමුණු දැන් ගොඩනැඟිලා තියෙනවා. ඒ ජනාධිපතිවරුන් මෙතෙක් භුක්ති විඳි වරප්‍රසාදවලට අදාළ පනත් සහ නීති රෙගුලාසි දැන් මේ වෙනකොට ජන සමාජයේ සාකච්ඡාවට භාජන වෙලා තියෙනවා.
හිටපු ජනාධිපති දැන් ඉන්න ජනාධිපතිට ලියුමක් ලියනවා, එයාට කෝකියෝ දාසයක් ඉල්ලලා. ආරක්ෂකයන් එකසිය හැට තුනක් ඉල්ලලා. අමතරව වාහන ඉල්ලනවා. තව ගොඩක් ජාති ඉල්ලනවා. මෙන්න මේ කාරණා තුළ මේ රටේ දේශපාලනයේ ඉතාමත්ම වැදගත් පිළිඹිබුවක් නිර්මාණය වෙනවා. එකක් තමයි මේ ඉන්න ජනාධිපති තමන්ගේ වරප්‍රසාද අතහැර සාමාන්‍යකරණය වෙමින් තිබියදී සහ මේ රටේ ජනතාව අන්ත දුක්ඛිත තත්ත්වයට වේල් තුන කන්නේ කොහොමද කියන එක පිළිබඳව කල්පනා කරන පරිසරයක් ඇතුළේ හිටපු ජනාධිපති කෙනෙක් මෙහෙම ලියුමක් එවලා මේ දේවල් කටක් ඇරලා ඉල්ලන්නේ කොහොමද කියලා.”