Monday, April 21, 2025
Home » ‘සයිබර් හීරෝ’ ජංගම යෙදුම ක්‍රියාත්මක කිරීමට කාන්තා නිර්මාණ කණ්ඩායමට අමෙරිකා සහාය

‘සයිබර් හීරෝ’ ජංගම යෙදුම ක්‍රියාත්මක කිරීමට කාන්තා නිර්මාණ කණ්ඩායමට අමෙරිකා සහාය

by mahesh
October 30, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ඩිජිටල් ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන Òසයිබර් හීරෝÓ ජංගම යෙදුම (Cyber Hero mobile app) ක්‍රියාත්මක කිරීම සඳහා කාන්තාවන් මුල්කොට ගත් නිර්මාණ කණ්ඩායමට සහාය දැක්වීමට අමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාව – ආරක්‍ෂිත අන්තර්ජාල භාවිතය සහ අන්තර්ජාලයේ වගකීම්සහගත හැසිරීම පිළිබඳව තරුණ පරපුර සහ ආන්තික ප්‍රජාව දැනුවත් කිරීම සහ සවිබල ගැන්වීමට නිර්මාණය කර ඇති ජංගම යෙදුමක් (Mobile app) විම්සිකල් විට්ස් (WhimsicalWits) සමඟ සහයෝගීතාවෙන් යුතුව එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කර ඇත. විම්සිකල් විට්ස්හි (WhimsicalWits) කාන්තාවන් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද, මේ නවෝත්පාදන යෙදුම, එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් හවුල්කාරිත්වය මෙන්ම සයිබර් ආරක්ෂණය සහ ඩිජිටල් සාක්ෂරතාව දියුණු කිරීම සඳහා වන දෙරටේ ඇති කැපවීම ද අවධාරණය කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. කොළඹ අමෙරිකානු මධ්‍යස්ථානයේ පැවති ජාත්‍යන්තරය සඳහා මේ නිර්මාණය එළිදැක්වීමේ උත්සවය එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් සහ විම්සිකල් විට්ස්හි (WhimsicalWits) කළමනාකාර අධ්‍යක්ෂ උත්පලා පතිරණ මහත්මීන්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි. එහිදී සයිබර් හීරෝ (Cyber Hero) යෙදවුම පිළිබඳ ප්‍රායෝගික ආදර්ශනයක් ද ඇතුළත් වූ අතර, මේ අවස්ථාවට මාධ්‍යවේදීන්, තරුණ පරපුර නියෝජනය කරන නායකයන් සහ අනෙකුත් ප්‍රධාන හවුල්කරුවෝ සහභාගි වූහ. Cyber Hero යනු Google Play Storeහි ඇති නොමිලේ ලබාගත හැකි අධ්‍යාපනික මෙවලමක් වන අතර, වංචනික ඊ මේල් (Phishing), හානිකර මෘදුකාංග (Malware) සහ පෞද්ගලික දත්ත රහස්‍යතා උල්ලංඝනය කිරීම් (Privacy Breaches ) වැනි සයිබර් තර්ජන ප්‍රයෝගික පරිසරයක් තුළ හඳුනාගෙන, ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරය මේ යෙදුම මඟින් පරිශීලකයන්ට උගන්වයි. එය තරුණයන් සහ ප්‍රජාව තුළ ඩිජිටල් තාක්ෂණයට අනුවර්තනය වීමේ හැකියාව ගොඩනංවන ඵලදායී සම්පතක් ලෙස ද ක්‍රියා කරයි. සිය ප්‍රකාශයේ දී, ජුලී චංග් මහත්මි‍ය සයිබර් ආරක්ෂණ අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළාය. “සයිබර් ආරක්‍ෂාව ගෝලීය ගැටලුවක් පමණක් නොවේ. එය පෞද්ගලිකව මෙන්ම දේශීය වශයෙනුත් බලපායි. විම්සිකල් විට්ස් (WhimsicalWits) හි දක්ෂ තරුණ කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද සයිබර් හීරෝ (Cyber Hero) යෙදවුම වඩාත් තියුණු, ආරක්ෂිත ඩිජිටල් ලෝකයකට දායක වන ආකාරය දැකීමෙන් අපි සතුටට පත්වෙනවා. මේ මෙවලම නොමිලේ ලබා දීමෙන් අපි ක්ෂණික අධ්‍යාපනය ලබාදෙනවා පමණක් නොව ඉදිරි වසර සඳහා පුද්ගලයන්ට, පවුල්වලට සහ ප්‍රජාවට ප්‍රතිලාභ ලබාදෙන ඩිජිටල් මාධ්‍ය භාවිතයේ වගකීම් සහ ආරක්ෂාව පිළිබඳ සංස්කෘතිය ද පෝෂණය කරනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT