අපවත් වී තෙමසක් පිරි ශාස්ත්‍රවේදී පණ්ඩිත හක්මන විපුලවංශ නාහිමියෝ ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සමාරම්භක මුල්ම විද්‍යාර්ථි කණ්ඩායමේ කෙනෙකි. උන්වහන්සේ අපවත් වනවිට වයසින් 97වසක් ද, මහණකමින් වසර 82ක් ද, විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මුල්ම ශිෂ්‍ය කණ්ඩායමේ දැනට ජීවතුන් අතර වැඩ සිටින තිදෙනෙකු පමණ වෙතැයි අනුමාන කරනු ලැබූ අය අතරින් ද කෙනෙකි.
උන්වහන්සේ විද්‍යෝදය පිරිවෙනේ වර්ග පටිපාටියෙන් පැමිණ අවසන් වරට පරීක්ෂණයෙන් උසස් ලෙස සමත්ව, එහි සුප්‍රකට ප්‍රඥාවන්ත නේතෘවරයකු වූ කළුකොඳයාවේ පඤ්ඤාසේකර පරිවේණාධිපතීන් වහන්සේගෙන් ඇගයීම් ලිපියක් ලැබීමේ දුර්ලභ අවස්ථාවට හිමිකම් ලැබූහ.
විද්‍යෝදය පිරිවෙනට පැමිණීමට පෙර පිරිවෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ උගත් කීර්තිමත් ථෙර පරපුරක් සිටි රන්දොඹේ සංඝරාජ විහාරය ආශ්රිත ශිෂ්‍යාලංකාර මහා පිරිවෙනෙහිය. එවක එහි
පරිවෙණාධිපති ධුරය දැරූ ප්‍රවීණ භාෂා පිළිබඳ ප්‍රාමාණික උගත් පඬිරුවනක් වූ ද, අධ්‍යයන, අධ්‍යාපන කාර්යයෙහි මෙන්ම බණ දහමෙහි සහ ධර්ම ඥානයෙහි ද නිසඟ කුසලතා ඇතිව වැඩ විසූ හක්මන සිරි සංඝතිස්ස හිමියන් විපුලවංශ සාමණේර වහන්සේගේ එක් ආචාර්යවරයෙකි. රඳනිආරේ
ධම්මාවාස හිමියන් අනෙක් ආචාර්යෝත්තමයන් වහන්සේය.
ගිහි කළ පාසල් අධ්‍යාපනය දෙනගම රජයේ මිශ්‍ර පාඨශාලාවෙන් එවක ව්‍යවහාරයේ හැටියට පළමු
කැලෑසියේ සිට 6 වැනි කැලෑසිය දක්වා ලබා ඇත. මාතර දිස්ත්‍රික්කයේ හක්මන මුරුතමුරේ ගම්මුලාදෑනි වසමට අයත් කන්දෙගොඩ ග්‍රාමයේ 1929 ජුලි මස 17 වැනි දින උපත ලද මේ පින්වත් කුමරු වයස අවු:13 දී 1942 අප්‍රේල් මස 21 වැනි දින පැවිදි දිවියට පත්ව ඇත.
ශාස්ත්‍රවේදී උපාධිය ලැබීමෙන් අනතුරුව අධ්‍යාපන සේවයට දෙමටගොඩ වේළුවනාරාම මහා විහාරස්ථ වේළුවන මහා පිරිවෙනෙහි පරිවේණාධිපති වහන්සේ ලෙස 1968 සිට රාජකාරි ආරම්භ කළ තරුණ, උගත්, විනයගරුක, වත් පිළිවෙතින් නීති සුසැදි මේ ශික්ෂකයන් වහන්සේ විසින් තම ඇදුරු මඬුල්ල සමඟ නිති වෙහෙස දරා ළදරු පිරිවෙන තරුණ ජවයක් සහිත සකලාංග සම්පූර්ණ ශාස්ත්රාලයක් බවට පත් කළහ. 1980 සිට බොරැල්ල තිලකරත්නාරාමස්ථ “සිරි සුමන මහා පිරිවෙනෙහි” පරිවේණාධිපතීන් වහන්සේ වශයෙන් ද, සුවිශේෂි සේවයක් කළ උන්වහන්සේ 1994 ජුලි මස රජයේ සේවයෙන් ඉසිඹු ලැබූහ. කොළඹ බොරැල්ල තරුණ බෞද්ධ සංගමය විසින් 1975 ආරම්භ කරන ලද “ශ්‍රීමත් සිරිල් ද සොයිසා දහම් පාසලේ” සමාරම්භක ප්රධානාචාර්යවරයා ලෙස වර්ෂ 2017 අග දක්වා උන්වහන්සේ සෑම ඉරු දිනයකම නොවරදවා කාර්යසාධන, පෙර සැලසුම්සහගතව උද්යෝගයෙන්,කැපවීමෙන් දහම් පාසල් දරුවන්ටත්, ආචාර්ය මණ්ඩලයටත්,ධෛර්යය දෙමින් එහි වැඩම කිරීම පිළිබඳව අදත් ඒ සියලු දෙනාම කෘතඥතාව, හදපිරි භක්තිය පුදකර සිටිති.
මේ සියල්ලටම වඩා අපවත් වන තෙක් නිතිපතා පැය 15ක පමණ කාලයක් ධර්ම ඥානය පෝෂණය කිරීමටත්, නිවැරදි දහම් මඟ, ජීවන මඟ සාදා දීමටත් උන්වහන්සේ කරන ලද අපිරිමිත වෙහෙස, කැපවීම, කොළොන්නාව ශ්‍රී අබේසිංහාරාම මහා විහාරයේ දායක දායිකා පිරිසත්, පරිබාහිර දන්නා හඳුනන පිරිසත්, කෘතවේදීව සමරති. නාහිමිපාණන් වහන්සේට අමා මහ නිර්වාණ සම්පත්තිය ලැබේවා.
(අපවත් වී වදාළ හක්මන විපුලවංශ නාහිමිපාණන්ගේ තෙමස් පූර්ණ පින්කම හෙටට (31) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)