හාලිඇළ, ලන්දේවෙල, කැටවල ප්‍රදේශයේ 15 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර මාස හතරක ගැබිනියක කර පලාගොස් සැඟවී සිටින 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බව කන්දේගෙදර පොලිසිය ඊයේ (29 ) පැවසීය.
විදේශ රටක රැකියාවක නිරතව සිටින මෙම සිසුවියගේ මවගෙන් පෙරේදා (28) කන්දේගෙදර පොලිසියට ලැබුණු දුරකතන ඇමතුමක් මත ක්‍රියාත්මක වූ කන්දේගෙදර පොලිස් නිලධාරීන් කැටවල, ලන්දේවෙල ප්‍රදේශයේ පදිංචි මෙම බාලවයස්කාර පාසල් දැරිය ඊයේ (29) පොලිසියට රැගෙන විත් සිදු කළ විමර්ශනයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය විනැයි පොලිසිය පවසයි.
මෙම සිද්ධියට මුහුණපෑ බාලවයස්කාර පාසල් දැරියගේ පියා නොමැති බවත් මව විදේශ රටක රැකියාවක නිරතව සිටින අතර ඇය වයෝවෘද්ධ 78 හැවිරිදි මිත්තණිය ගේ රැකවරණය යටතේ නිවෙසේ සිටින බව ද පොලිසිය පවසයි.
ඇය කන්දෙගෙදර ප්‍රදේශයේ පාසලක 10 වසරේ ඉගෙනුම ලබන අතර පාසල් යන අතරතුරේ දැන හඳුනාගත් 21 හැවිරිදි තරුණයකු සමඟ සබදතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත්, අවස්ථා කිහිපයකදී මිත්තණියට අමතර පන්ති යන බව පවසා එම තරුණයා සමඟ කන්දේගෙදර සාර්නියා තේ වත්තට ගොස් තේ පඳුරු යට මෙම සිසුවිය ගතකර ඇති බවට තොරතුරු අනාවරණය විණැයි පොලිසිය සඳහන් කළේය.
පසුගිය දිනක උදරයේ වේදනාවකට මැය මිත්තණිය සමඟ බදුල්ල නගරයේ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් ඇති බවත් එහිදී වෛද්‍යවරයා මෙම සිසුවිය පරික්ෂා කර බලා ඇය මාස හතරක ගැබිනියක වී ඇති බවට තොරතුරු හෙළිදරව් කරගෙන තිබෙන බවත් පොලිසිය පවසයි.
මෙම සිසුවිය හාලිඇළ ප්‍රදේශයේ වෛද්‍ය සායනයකට අවස්ථා කිහිපයකදී සහභාගි වී ඇති බවත් එම පොත්පත් ලියකියවිලි ද සිසුවිය ළඟ තිබිණැයි පොලිසිය පවසයි.
එම සිසුවිය පෙරේදා (28) රාත්‍රි වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයා ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය.