සියක් වසක් තම ජීවිතය විඳින්නට හැකි වූ කොට්ටුකච්චියේ ඩබ්ලියු. එම්. මැණික්හාමි මාතාව දරු මුනුපුරුන් හා මුනුපුරන්ගේ දරුවන් සමඟ එක්වී සිය වසරක් වෙනුවෙන් සැකසූ අපූරු උපන්දින කේක් ගෙඩියක් කපා මහත් සතුටින් එය සමරන්නට වූයේ අතීත මතක අලුත් කරමිනි.
1924 වසරේ උපත ලද මැණික්හාමි මාතාවගේ උපන් ගම මහකුඹුක්කඩවල සොහොන්කල්ඹ ගම්මානය වන අතර, ඇය කොට්ටුකච්චියේ පදිංචි ඒ.එම්. බංඩප්පු මහතා සමඟ විවාහ වී තම දිවිය සියක් වසක් ගෙන යාමට වාසනාවන්ත වී ඇත.
විවාහයෙන් පසු දරුවන් එකොළොස් දෙනකු බිහිකරමින් එම දරුවන් එකොළොස්දෙනාම පැවති අසීරුකම් මැද හැඩි දැඩි කරමින් සමාජයට යහපත් දරු පරපුරක් දයාද කරන්නට ගත් උත්සාහය ප්‍රශංසනීය වේ.
තම දිවිය ආරක්ෂා කරමින් දරුවන්ට හා මුනුපුරන්ට මහත් රැකවරණයක් ලබා දුන් ආදරණීය සැමියා වසර ගණනාවකට පෙර දිවියෙන් සමුගෙන ඇත්තේ තම බිරිය හා දරු මුනුපුරන්ට මහත් වේදනාවක් එක්කරමිනි.
දරුවන් එකොළොස්දෙනෙකුගේ මවක් වන මැණික්හාමි මාතාවට මුනුපුරන් 24කි. එම මුනුපුරන් හටද මේ වන විට දරුවන් 24 දෙනෙකු සිටිති. ඒ සියලු දෙනාගෙම මුහුණු බැලීමට ඇය වාසනාවන්තය.
දරුවන් එකළොස්දෙනෙකුට ආදරය රැකවරණය දුන් මේ මාතාවට ඇගේ දරුවන් සියලු දෙනාම එක්ව ලබාදෙන ආදරය පුදුමාකාරය.
තම මහලු මවුපියන් පාරවල් අසල දමා යන දරුවන් සිටින රටක මැණික්හාමි මාතාවගේ දරුවන් සැබෑම දරුවන් ලෙස තම යුතුකම මව වෙනුවෙන් ඉටු කරන්නේ ඇයව මහත් ආදරයෙන් රැක බලා ගනිමිනි.
සියක් වසක් සමරමින් ඇය ජන්ම දිනය සමරද්දී ඇයට සුබ පතන්නට අසල්වැසියන් ඥාතීන් හා හිතවතුන් පැමිණීමෙන් ඇය තවත් සතුටට පත් වූවාය.
අපූරු ගොයම් කවියක් මිහිරි හඬින් කියාගන්නට බැරි උවද එය එතැනට එක්වූ අපට ඇසෙන ලෙස ගායනා කරමින් අප සතුටු කරන්නට විය.
කොට්ටුකච්චිය ගම්මානයට මේ වන විට සියක් වසක් සමරන්නට හැකිවූ එකම මාතාවද මැණික්හාමි මාතාව පමණක් වීමද වාසනාවකි.
ඇයට තවත් කලක් නීරෝගීව වාසය කරන්න පැමිණි බෝහෝ දෙනා දිර්ඝායුෂ ප්‍රර්ථානා කරන්නට අමතක කළේ නැත.