Home » ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය තහනම් කරයි

ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය තහනම් කරයි

රටවල් රැසකින් විරෝධය

by mahesh
October 30, 2024 1:00 am 0 comment

ඊශ්‍රායලයේ ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය තහනම් කිරීමේ පනත එරට පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දශක අටක් පැරැණි පලස්තීන සරණාගතයන්ට සහන සැලසීමේ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය තහනම් කිරීමෙන් මිලියන ගණනාවක පලස්තීනුවන්ගේ ජිවිත අනතුරේ බව ප්‍රකාශ කරමින් රටවල් රැසක් ඊශ්‍රායලයට සිය අප්‍රසාදය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය තහනම් කිරීම ඊශ්‍රායලයේ මිත්‍ර රටවල් පවා හෙළා දැක ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඊයේ ඊශ්‍රායල පාර්ලිමේන්තුවේදී සම්මත වූ එම තහනම ඊශ්‍රායලය, බටහිර ජෙරුසලම, ගාසා සහ තවත් පළාත් රැසක මාස තුනක් ඇතුළත ක්‍රියාත්මක වීමට නියමිත අතර, එම පනත වහාම ඉවත් කරන ලෙස අමෙරිකාව ද ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. ඊශ්‍රායල පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව පනත් දෙකක් සම්මත කර ඇති අතර, ඊශ්‍රායලය තුළ එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ ක්‍රියාකාරකම් තහනම් කිරීමට අමතරව ඊශ්‍රායල පුරවැසියන්ට එම ඒජන්සිය සමඟ කිසිදු සම්බන්ධතාවක් පැවැත්වීම ද තහනම් කර ඇතැයි වාර්තා වේ. මේ පනත සම්මත කරගැනීමට හේතුවූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමේදී එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ නිලධාරින් ද ඊට සම්බන්ධව සිටි බව තහවුරු වීම හේතුවෙන් බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ.

කෙසේ වුවද ස්වාධීනව කටයුතු කරන එම ආයතනයේ ක්‍රියාකාරකම් තහනම් කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනි ගුටාරෙස් ද ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ එම තහනමෙන් පලස්තීන සරණාගතයන් අතිශය දරුණු ඉරණමකට ගොදුරු වනු ඇති බවය.

එම පනත වෙනුවෙන් සහාය පළ කළ ඊශ්‍රායල පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන යූලියා මලිනොව්ස්කි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු එම ඒජන්සියේ දෙදෙනකු ඊශ්‍රායල වැසියකුගේ මළසිරුරක් රැගෙන යෑමේ සීසීටීවී වීඩියෝ පටයක පැහැදිලිව සටහන් වී ඇති බවය. පනත සම්මත වීමෙන් එම ඊශ්‍රායල වැසියාගේ මාපියන්ට යුක්තිය ඉටු වූ බව ද ඇය සඳහන් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT