– ඩිජිටල් මාධ්‍යයෙන් ඈත් කරලා සමාජය තියන්න බැහැ
– ක්ෂණික ඇමතුම් හරහා සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න පුළුවන්
– චීනයේ ආරක්ෂාව ඉතා තදයි ළමයින් අපචාරවලට යොදා ගැනීමට තිබෙන ඉඩකඩ අඩුයි
වර්තමානයේ අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන අපරාධ, මූල්‍ය වංචා පිළිබඳ පැමිණිලි වැඩි වීමක් දැකගත හැකියි. ඒ වගේම මේ සඳහා විදේශිකයන් සම්බන්ධ වී සිටීම ද විශේෂත්වයකි. සයිබර් අපරාධ ඉහළ යාමට හේතු එම අපරාධ වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල කීර්ති ද පැස්කුවල් මහතා සමඟ පැවැත්වූ සංවාදයකි මේ.
දිනෙන් දිනම සයිබර් අපරාධ, වංචාවන් වාර්තා වීම වැඩි වීමක් පෙන්නුම් කරනවා. මේ සඳහා බලපාන ප්‍රධාන හේතු මොනවාද?
අන්තර්ජාලය හරහා සිදුවන වංචනික මූල්‍ය ගනුදෙනු, යම් අපහාස කිරීම්, වංචා කිරීම්, යම් පුද්ගලයන් විසින් සිදු කරනු ලබන වෛරී ප්‍රකාශන බිය වැද්දීම් සයිබර් අපරාධයක් ලෙස හඳුන්වනු ලබනවා. වර්තමානය වන විට ඇත්තටම සයිබර් අපරාධ වැඩි වීමේ වර්ධනයක් පෙන්වීමට ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතය වැඩි වීම එක හේතුවක්. මිලියන 12.2ක පමණ පිරිසක් අන්තර්ජාලය භාවිත කරනවා. රටේ ජනගහනයෙන් 56%ක් වගේ පිරිසක් අන්තර්ජාලය භාවිත කරනවා. මිලියන 8 කට ආසන්න ප්‍රමාණයක් අපේ රටේ සමාජ මාධ්‍ය භාවිත කරනවා. මෙය ක්‍රමිකව වැඩිවෙන තත්ත්වයක් තුළ හොඳ වගේම නරකත් අපිට දකින්න පුළුවන්. වැඩි පිරිසක් මේවා පරිශීලනය කරන විට ඉන් ලැබෙන වාසි වගේම අවාසිසහගත තත්ත්වයන්ද නිර්මාණය වෙනවා. අපේ රටේ පරිශීලකයන් විශාල වශයෙන් අන්තර්ජාලය භාවිත කළත් ඩිජිටල් සාක්ෂරතාවයේ හිඟයක් තිබෙනවා. විෂය නිර්දේශවලට පවා මේ ඩිජිටල් සාක්ෂරතාවය ඇතුළත් කරන්න අවශ්‍ය බවට බොහෝ දෙනාගේ ඉල්ලීම් මේ වන විටත් ලැබෙමින් තිබෙනවා. ඒ වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනය වගේ ආයතන කටයුතු සම්පාදනය කරමින් තිබෙනවා. නමුත් සමාජයේ යම් පිරිසකට මෙම ඩිජිටල් තාක්ෂණයේ සාක්ෂරතාවය අඩු බව නිසා, අනවබෝධය නිසා අන්තර්ජාලය භාවිත කිරීමේදී වංචනිකයන්ට හසුවන බවක් දකින්න තිබෙනවා. අද වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල කල්ලිවල නායකයන් මෙම සයිබර් අපරාධ සඳහා යොමු වෙලා තියෙනවා. අවි ආයුධ ජාවාරම්, මත්ද්‍රව්‍යවල මුදල් හුවමාරු කිරීම අන්තර්ජාලය හරහා සිදු වෙනවා. ඒ වගේම පෞද්ගලික අනන්‍යතාවය සොරාගැනීම වැනි දේවල් හරහා බැංකු ගිණුම්වලට ඇතුළත් වෙලා මූල්‍ය වංචා සිදු කිරීම අද වන විට බහුලව දකින්න තියෙන දෙයක්.
ගෝලීය වශයෙන් අන්තර්ජාල මූල්‍ය වංචා අපරාධ වැළැක්වීමට සහ එම තත්ත්ව පාලනයට ගෙන ඇති පියවර මොනවාද?
ගෝලීය වශයෙන් මේ තත්ත්වය පාලනයට පියවර රැසක් මේ වන විටත් අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම අෙමරිකාව වගේ රටක මෙය ඉතා සංවේදී කාරණාවක් විදිහට සලකනවා. අෙමරිකාව බොහෝ අවස්ථාවල මෙම අන්තර්ජාල අපරාධ වැළැක්වීම සහ පාලනයට විවිධ පර්යේෂණ ඔස්සේ ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදී තිබෙනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාව වගේ රටවලත් පසුගිය කාලයේදී සිදු වූ විවිධ සිදුවීම් සමඟ විවිධ පියවර ගත්තා. ඔවුන්ගේ පර්යේෂණයකදී හෙළි වුණා අන්තර්ජාලය භාවිත කරන අයගෙන් 30% ක් එනම්, දහදෙනෙක් අතරින් තුන්දෙනෙක් කුමන හෝ වංචාවකට, අපරාධයකට හසුවෙලා තියෙන බව. විශේෂයෙන්ම කාන්තාවන් මේ සඳහා ගොදුරු වීමේ ප්‍රවණතාවයක් තිබෙන බවද තහවුරු වී තිබෙනවා. අෙමරිකාවේ ආයතන ප්‍රධාන වශයෙන් Federal Bureau of Investigation (FBI) සහ Department of Homeland Security (DHS) යන ආයතන දෙක එකතුව සයිබර් අපරාධ සම්බන්ධයෙන් වෙනම විමර්ශන ඒකක ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම Enhancing cyber security ආයතනයත් විශේෂයෙන්ම අෙමරිකාව තුළ සයිබර් අපරාධ වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම යුරෝපා සංගමයත් මෙම අපරාධ සඳහා දැඩි නීති පැනවීමටත් සිදු කර තිබෙනවා. ඔවුන් තාක්ෂණික ක්‍රම ඔස්සේ මුදල් හුවමාරුව වගේ දේවල්වලදී කලාපීය වශයෙන් මේ දේවල් වළක්වා ගැනීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව නිරන්තර දැනුවත් කිරීම සිදු කරනවා. නමුත් ආසියානු කලාපීය රටවල මේ තත්ත්වයන් සඳහා සාධනීය පියවර අරගෙන තිබෙන බවක් පේන්න නැහැ. මියන්මාරයේ ශ්‍රී ලාංකිකයන් පවා සයිබර් අපරාධ කඳවුරුවල වද හිංසනයට ලක්වන ආකාරය පිළිබඳව මාධ්‍ය වාර්තා කළා. ෆින්ලන්ඩ්, නෝර්වේ වගේ රටවල මේ තත්ත්වයන් සඳහා හොඳ ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඔවුන්ගේ රටවල ජනතාවගේ ඩිජිටල් සාක්ෂරතා දැනුම වර්ධනය සඳහා විවිධ වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනවා.
පසුගිය සති කිහිපයේම ශ්‍රී ලංකාව තුළ විදේශිකයන් සිදු කළ සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා මාධ්‍ය වාර්තා කළා. මෙවැනි අපරාධ වළක්වා ගැනීමට ලංකාවේ ඇති නීති පද්ධතිය ප්‍රමාණවත්ද?
මේ සම්බන්ධ නීති මේ වන විට සම්පාදනය වෙමින් තියෙනවා. පසුගිය සති කිහිපයේ චීන ජාතිකයන් සහ තවත් විදෙස් ජාතිකයන් රාශියක් අත්අඩංගුවට පත් වීමත් සමඟ මේ සඳහා නැවත කතා බහක් ඇතිවී තිබෙනවා. මොවුන් ලංකාවේ විවිධ තැන්වල සංවිධානය වෙමින්, මුදලට හෝටල් කාමර මිල දී ගනිමින් විශේෂයෙන්ම මූල්‍යමය සයිබර් අපරාධ සිදු කර තිබෙන ප්‍රවණතාවයක් පසුගිය සති කිහිපයකම වාර්තා වුණා. සියයකට ආසන්න පිරිසක් ආසන්න දින කිහිපයේ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගැනීම් දකින්න ලැබුණා. චීන ජාතිකයන් ඒ අතර ප්‍රමුඛ වුණා. ලංකාවේ මේ සම්බන්ධයෙන් තිබෙන පොලිස් වාර්තා වගේම ලංකාවේ තිබෙනවා. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT). දත්ත අනුව සැප්තැම්බර් මාසයේ 240ක් පමණ පැමිණිලි වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව කාන්තාවන් සහ ළමයින් සම්බන්ධයෙන් පැමිණිලි 1817ක් අන්තර්ජාල අපරාධ පැමිණිලි ඒකකයට ලැබී තිබෙනවා. 2023 වසරේදී සයිබර් අපරාධ සම්බන්ධයෙන් 78 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, 2024 මේ දක්වා 200කට ආසන්න විදේශිකයන් ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තමන්ටම පමණක් ආවේණික වූ OTP අංකය භාවිත කරමින් ගිණුම් හැක් කිරීම සිදු කරනවා. ඒ හරහා ඉතා බරපතළ විදිහට අපේ මුදල් සොරාගැනීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම ජංගම දුරකතන ඇප් භාවිතයේදී ලංකාවේ අවබෝධය ඉතා පහළ මට්ටමක තිබෙන්නේ. ලංකාවේ සයිබර් අපරාධ වැළැක්වීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ සයිබර් ආවේක්ෂණ ඒකකයක් පිහිටුවීමට කටයුතු කරලා තියෙනවා. දුරකතන ඇමතුමක් හෝ WhatsApp මාර්ගයෙන් ඔවුන් හා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. එම ඒකකය මඟින් ළමුන් සම්බන්ධයෙන් සහ කාන්තාවන් සම්බන්ධ ප්‍රශ්නවලදී මැදිහත්ව කටයුතු කරනවා. ඒ වගේම අන්තර්ජාල අපරාධ පැමිණිලි අංශය නමින් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ අංශයක්ද ස්ථාපිත කරලා තියෙනවා. ක්ෂණික ඇමතුම් අංක හරහා සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාව තිබෙනවා. මෙවැනි ඒකක නිර්මාණය වෙමින් නීති යම් ආකාරයකට ශක්තිමත් වෙමින් පවතින බවක් අපට පෙනෙන්න තියෙනවා. මෙවැනි නීති සම්මත වෙනවා සේම පුරවැසියන් ලෙස අන්තර්ජාල සාක්ෂරතාවය වැඩි කර ගැනීමටද උත්සාහ කරන්න ඕනේ.
මූල්‍ය වංචා සඳහා සමාජ මාධ්‍ය තෝතැන්නක් වී තිබෙනවා. මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
සමාජ මාධ්‍ය හරහා විශාල කණ්ඩායම් අපේ මිතුරන් ලෙස එකතු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. සමාජ මාධ්‍යයේ තිබෙන මෙම පහසුව සහ නියාමන ආකෘතියක් නොමැති වීම නිසා කෙනෙකුට රහස්‍ය විදිහට සමාජ මාධ්‍යයේ හැසිරෙන්න පුළුවන්. ඒක කවුරුත් නියාමනය කරන්නේ නැහැ, ඒක හොයන්න බැහැ ,ඒක හොයන්න තියෙන ඉඩ ප්‍රස්තාව අඩුයි. එවැනි තත්ත්වයක් තුළ තමයි සමාජ මාධ්‍ය තුළ අපරාධ සිදු වෙන්නේ. ඩිජිටල් මාධ්‍යයෙන් ඈත් කරලා සමාජය තියන්න බැහැ. 2000න් පසු ඉපදුණු අය digital natives ලෙස හඳුන්වනවා. ඩිජිටල් යුගයක බිහි වුණු දරුවන් සාමාන්‍ය සංජානනය ඇතිවන අවධියේ පටන් පරිගණකයට, අන්තර්ජාලයට, ජංගම දුරකතනයට ස්වභාවයෙන්ම ඇප් එකකට යන්න, තොරතුරු හොයන්න ජානමය වශයෙන්ම හුරුවෙලා තියෙන්නේ. ඔවුන්ව ඒකෙන් ඈත් කරනවා කියන්නේ වෙනම අපරාධයක්. සමාජ මාධ්‍යයෙන් ඈත් කිරීමට යෑම නිසා සහ සමාජ මාධ්‍යයෙන් සිදු වූ විවිධ අපරාධ නිසා සියදිවි නසා ගැනීම් වගේ දේවල් බහුලව සිදු වෙනවා. සමාජ මාධ්‍ය තුළ අපරාධ වැඩි වශයෙන් සිදු වන්නේ ව්‍යාජ ගිණුම් (Fake account) හරහායි. ව්‍යාජ ගිණුමක් ආරම්භ කර ඒ ගිණුම හරහා බොහෝ වංචනික වැඩ කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම අශ්ලීල ප්‍රකාශ හුවමාරු කර ගැනීමද සිදු කරනවා. සමාජ මාධ්‍ය අතරමැදියාගේ කාර්ය සිදු කරනවා. වංචා සහ අපරාධ හිතේ හැටියට කරන්න පුළුවන් දෙයක් තමයි සමාජ මාධ්‍ය කියන්නේ.
මෙවැනි වංචාවලට වැඩි වශයෙන් හසු වෙන්නේ මොන වගේ පිරිස්ද?
මූල්‍යමය වංචා සඳහා හසුවීම වැඩියෙන්ම වාර්තා වන්නේ මැදිවියේ පිරිස්. ඔස්ට්‍රේලියාවෙන් සිදු කළ පර්යේෂණය මඟින් අන්තර්ජාලය භාවිත කරන්නන්ගෙන් 30% ක් සයිබර් අපරාධ සඳහා හසු වෙන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. CERT එකේ දත්ත අනුව 40-65 අතර වයසේ පසුවන්නන් වැඩි වශයෙන් මූල්‍ය වංචාවලට හසුවෙන බව දක්වනවා. BBC ය විසින් මෑතකදී පළ කළ ලිපියක දක්වා ඇත්තේ ළමයින් සහ කාන්තාවන් අශ්ලීල ප්‍රකාශන, වෛරී ප්‍රකාශන, අපහාස, සංස්කරණය කළ ඡායාරූප, ලීක් වීම් වගේ දේවල්වලට හසුවෙන බව පෙන්වා දී තිබෙනවා. මේ අතරත් තරුණ වියේ කාන්තාවන්ගේ මේ තත්ත්වය වැඩියි.
අන්තර්ජාල අපරාධ පිළිබඳ ජනතාවගේ දැනුම්වත්භාවය ගොඩනඟන්නේ කොහොමද?ඒ සඳහා මාධ්‍යයට තිබෙන වගකීම මොනවගේද?
ළමා ආරක්ෂක අධිකාරිය විසින් ළමයින්ට සිදු වන අපරාධ වළක්වා ගැනීම සඳහා දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. 0773220033 යන අංකයට WhatsApp හරහා සම්බන්ධ වී මේ පිළිබඳව තොරතුරු දැනගන්න,මේ පිළිබඳව දැනුවත් වෙන්න කතා කරන්න පුළුවන්. ඒ වගේම පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට කතා කරලා පැමිණිලි කරන්න පුළුවන් කියන එක ජනතාව දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම අන්තර්ජාල පැමිණිලි ඒකකයක් තිබෙනවා. මෙය පොලිසිය යටතේ තිබෙන්නේ. මේ වගේ ආයතන ගැන දැනුවත් වීම ඉතා වැදගත් වෙනවා. ඊට අමතරව ඇප් එකක් භාවිත කරන ආකාරය, සමාජ ජාලවල මිතුරන් එකතු කර ගන්නේ කොහොමද? ව්‍යාජ ගිණුමක්ද නැද්ද? කියන කාරණා පිළිබඳව සාමාන්‍ය ජනතාවට, තරුණයන්ට, දරුවන්ට මාධ්‍ය හරහා දැනුවත් කිරීම කරන්න ඕනේ. පෞද්ගලිකත්වය අන්තර්ජාලය හරහා හුවමාරු කරගැනීමේදී මොන තරම් සැලකිලිමත් විය යුතුද කියන කාරණය දැනුවත් විය යුතුයි.
සයිබර් අපරාධ හා අන්තර්ජාල අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත යුතු ක්‍රියාමාර්ග හා නීති බලාත්මක කිරීම කොතරම් වැදගත් වේද?
නීතිය නිරන්තරයෙන් බලාත්මක කරන්න ඕනේ. ඒක අවශ්‍ය දෙයක්. අලුතින් හඳුන්වා දුන් Online safety bill පනතේ යම් යම් වගන්ති තිබෙනවා. මෙවැනි කාරණා වළක්වා ගැනීම සඳහා සයිබර් අවකාශය හරහා යම් කෙනෙකුගේ මාධ්‍ය නිදහසට බාධා වෙනවා නම්, ඒ සඳහා පාර්ලිමේන්තු පනත් හරහා නීති දැඩි කිරීම අවශ්‍යයෙන්ම කළ යුතු දෙයක්. සයිබර් අපරාධ සහ අන්තර්ජාල අපරාධ, අන්තර්ජාල වංචා පිළිබඳව ඇත්තටම නව නීති හඳුන්වා දෙමින් දඬුවම් දැඩි කළ යුතුයි.
රුවන් පුෂ්පකුමාර