ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළී සිටි ජානක ප්‍රසාද් නොහොත් “මර්වින් ජානා” නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකායේ මොරටුව කඳවුරේ නිලධාරින් විසින් බොරලැස්ගමුව ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමකදී රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමකින් යුත් මෙත්ඇන්පිටමින් ක්‍රිස්ටල් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 60ක ප්‍රමාණයක් සහ ජාවාරම්කරුට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට පත් වූ සැකකරු මර්වින් ජානා නොහොත් බේකිරි ජානා නමැති අන්වර්ථ නාමවලින් පෙනී සිටින 45 හැවිරිදි වියේ පසු වන අයෙක් වන බවත් ස්ථිර වශයෙන් පැරකුම් මාවත, අත්තිඩිය, දෙහිවල ලිපිනයෙහි පදිංචිව සිට ඇති බවත් ස්ථිරව පදිංචිව සිටින නිවෙසේ සිට බොරලැස්ගමුව, දේවාලමුල්ල, පළමු පටුමඟ ප්‍රදේශයේ ඥාති නිෙවසකට පැමිණ සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.
2016 වර්ෂයේ බොරලැස්ගමුව පොලිස් වසමේ කටුවාවල, ඇහැළපේ මංසන්දිය ආසන්නයේ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන පොඩි චානක නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දැනට අත්අඩංගුවේ පසුවන සැකකරු බව සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය කරගත් බවත් පොලිසිය පවසයි.
සැකකරු ආරක්ෂක අංශ නොමඟ යවමින් තමන් රටින් පිටව සිටින බවට ප්‍රචාරය කරමින් ඉතා සූක්ෂ්ම ආකාරයෙන් මෙරට රැඳී සිටිමින් තමන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ මත්කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය ගෝලයන් හරහා බෙදා හැර ඇති බවත් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසයි.
විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ට දින කිහිපයක සිට ලද බුද්ධි තොරතුරු අනුව සැකකරු පිළිබඳව විමර්ශන සිදු කරමින් සිටියදී ලද රහසිගත තොරතුරක් මත සිදු කළ මෙහෙයුමේදී සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන හා පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අධිකරණයෙන් ලබාගත් දින 07 රැඳවුම් නියෝග මත බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාර දුන් බවද විශේෂ කාර්ය බළකාය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිස් විශේෂ කාර්ය බළකායේ මොරටුව කඳවුරෙ නිලධාරින් හා බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආසිරි ජයසූරිය මහතා ඇතුළු නිලධාරින් විසින් සිදු කරනු ලබයි.
විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/ විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ මඟපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බළකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් මර්වින් ජානා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් කර ඇත.