හම්බේගමුව පොලිසිය මඟින් අලුත්වැව, කිලින්බුන්න ප්‍රදේශයේදී ඉකුත් 25 වැනිදා සිදුකළ වැටලීමකදී, අයිස් ග්‍රෑම් 18ක් සමඟ 27 හැවිරිදි තරුණයකු සහ ඔහුගේ පෙම්වතිය වන 24 හැවිරිදි විවෘත විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු කහවත්ත, අකරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සැකකාරිය නාවල විවෘත විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි. අලුත්වැව, කිලින්බුන්න පාරේ වතුර ෆිල්ටර අසල නිවෙසක අයිස් මත්ද්‍රව්‍ය තිබෙන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 14ක් සොයාගෙන තිබේ. තවද ඔහු සන්තකයේ තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන තුනක් සහ සාමාන්‍ය දුරකතනයක් ද, මුදලින් රුපියල් 23,500ක් ද පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරුගේ පෙම්වතිය වන හෙට්ටිගේවත්ත, දේවාලයගම, රත්නපුර පදිංචි 24 හැවිරිදි තරුණිය සන්තකේ තිබී අයිස් ග්‍රෑම් 4ක් සහ ස්මාර්ට් ජංගම දුරකතන තුනක් ද සොයාගෙන තිබේ. සැකකරු සහ සැකකාරිය කිලින්බුන්න ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන රැඳී සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකරු සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය වැල්ලවාය නිල නොලත් මහේස්ත්‍රාත් නීතා දීපිකා කුමාරි මහත්මිය වෙත ඉදිරිපත් කරන ලදුව, සැකකරු දින තුනක් රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇත. සැකකාරිය ඇප මත මුදාහැර තිබේ.