“මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ ගමන්ම ජනතාව හිතනවා, අපි කාටද ඡන්දය දෙන්නේ, අපි කොයි පැත්තෙද හිටගන්නේ කියලා. එහෙම හිතලා දෙන ඡන්ද ගන්න මහජන නියෝජිතයන්ට හිතුණ හිතුණ විදිහට පැති මාරු කරන්න බෑ.” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක නිශාන්ත ඩයස් මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ මාතලේ පැවැති ජන හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මෙරට දේශපාලනය තුළ ජනතාවට තමන්ගේ පක්ෂය මාරු කරන්න පුළුවන්. ඒක සැබෑ ප්රජාතන්ත්රවාදය. නමුත් ජනතාවගේ ඡන්දයෙන් පත්වන පක්ෂ නියෝජිතයන්ට හිතුණ හිතුණ විදිහට පක්ෂ මාරු කරන්න බෑ. මහජන නියෝජිතයන්ගේ මෙවැනි ක්‍රියා නිසා ව්‍යාකූල වටපිටාවක් නිර්මාණය වී තිබෙනවා. මහමැතිවරණය ඉතාමත් විනිවිදභාවයෙන් පැවැත්වීමත්, එහිදී තරුණ ප්‍රජාවට ප්‍රමුඛස්ථානය දීමත් ඉතා වැදගත්.
ඒවගේම සෑම ක්ෂේත්රයකින්ම පාර්ලිමේන්තුව නියෝජනය විය යුතුයි. පාර්ලිමේන්තු යන දෙසිය විසි පහෙන් ජනතා අභිලාෂ ඉෂ්ට විය යුතුයි. ඒ සඳහා සැබෑ ජන පිළිබිඹුවක් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීමට ජනතාව වගබලා ගත යුතුයි.
රට සංවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැබෑ ලෙසම ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටියා. අහිංසක මිනිස්සු ජීවිතවලින් වන්දි ගෙවන එම ජීවිත ආරක්ෂා කර දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා. ඒ නිසා මොන දේ වුණත් පොදුජන පෙරමුණ ජනතාවගේ මතය පිළිබිඹු කළ පක්ෂයක්. ජනපති අනුර කුමාර දිසානායක මහතා ගත් උත්සාහය තුළ දේශපාලනික වශයෙන් මේ සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන්කම ලැබුණොත් ඒ ගමන සාර්ථක බව අපි හිතනවා.”