අනුර කුමාර දිසානායක සහෝදරයා ජනපතිවීමත් සමඟ රට පාලනය කළ වලව් කිහිපයක පාලන බලය ද බිඳ වැටී ඇති බව ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පවසයි.
ඒ මහතා මේ බව අවධාරණය කළේ ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මැතිවරණ ප්රචාරක රැලියකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“ජනතාවට තමන්ට ජීවත්විය හැකි යැයි විශ්වාසයක් තිබෙන රටක් ගොඩනැඟිය හැක්කේ වත්මන් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පමණයි. මම දේශපාලනය ඉගෙන ගත්තේ සමාජය සමඟ ගැටීමෙන්. පස්සෙ කාලෙක උසාවියේදීත් මිනිසුන්ට වූ අසාධාරණය මම දැක්කා. මම දේශපාලනයට ආවේ ඒ ගැටීමේ ප්‍රතිඵලයක් විදියටයි. මේ සමාජ අසාධාරණකම් ගැන පුවත්පත්වලට ලිපි ලිව්වා. ඒ ගැන කතා කිරීම හැරුණු කොට මම දේශපාලනය කළේ නෑ. නමුත් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයගේ ඉල්ලීම මත මම දේශපාලනයට ආවා.
සර්වජන ඡන්ද බලය ලැබුණයින් පසුව මෙරට දේශපාලනය සාමාන්‍ය මනුස්සයෙක් අතට පත්වෙන තත්ත්වයක් තිබුණේ නෑ. සාමාන්‍ය මිනිස්සු දේශපාලනයේ හිටියත් ඒ අයට උඩට එන්න අවස්ථාව තිබුණේ නෑ. හැමදාම මේ රට පාලනය කළේ සේනානායකවරුන්, බණ්ඩාරනායකවරුන්, වික්‍රමසිංහලා, රාජපක්ෂලා වගේ එක්තරා ප්‍රභූ පෙළන්තියක්.
ඒ නිසා අපි මෙච්චරකල් හිටියෙ ප්‍රභූ දේශපාලනයක පාලිතයන් විදියට. ඔවුන් හිතන මතන විදියටයි මෙච්චරකල් අපව පාලනය වුණේ. සමස්තයක් ලෙස ඒ පාලකයන්ට අපව පෙනුණේ ඔවුන්ගේ ගොවිපොළක් වගෙයි. මේ රටේ ප්‍රභූ දේශපාලනය හැමදාම තමන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වුණා.
නමුත් අරගලයේ මූලික අරමුණ වුණේ සිස්ටම් චේන්ජ් එකක් සිදු කිරීමයි. ඒ මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න. මෙරට ප්‍රභූ දේශපාලනය අවසන් කරමින් රටේ නායකත්වයට අනුර සහෝදරයා පත්වුණා. වලව් කිහිපයක පාලන බලය දැන් අවසන් වෙලා. අපට දැන් අලුත් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉටු කරන්න පාර්ලිමේන්තු බලය අවශ්‍යයි. රටින් එළියට ගෙන ගිය සල්ලි නැවත රටට ගේන්න, හොරුන්ට දඬුවම් දීලා සංවර්ධිත රටක් හදන්න අලුත් නීති ගේන්න ඕනෙ. ඒ සඳහා ඉතාම ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඕනෙ. තමන්ට ජීවත්වෙන්න පුළුවන් කියා හිතෙන රටක් නිර්මාණය කරන්න පුළුවන් අනුර කුමාර දිසානායක සහෝදරයගේ වැඩපිළිවෙළ විශ්වාස කිරීමෙන් පමණයි.”