Home » මම අත්දෙක දාලා ඇළේ බලද්දී බඩ දෙපැත්ත අහු­වුණා

මම අත්දෙක දාලා ඇළේ බලද්දී බඩ දෙපැත්ත අහු­වුණා

දියේ ගිලී මිය­ගිය අයගේ මරණ පරී­ක්ෂ­ණ­යේදී පද්ම­සිරි සාක්කි දෙයි

by Gayan Abeykoon
October 29, 2024 1:02 am 0 comment

“මම සුමින්ද මාළු අල්ලන තැනට ගියා. යනකොට මම දැක්කා බොර පාරක් වගේ තිබෙනවා. මම ඉක්මනින් එතැනට බැස්සා. මම අත්දෙක දාලා බැලුවා. මට ඊට පස්සේ එයාගේ බඩ දෙපැත්තෙන් වගේ අහුවුණා” යැයි මාළු ඇල්ලීමට ගොස් දියේ ගිලී මියගිය පුද්ගලයකුගේ මරණ පරීක්ෂණයේදී සමරප්පුලි ආරච්චිගේ පද්මසිරි (52) යන අය සාක්ෂි දෙමින් පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ එරංජිත් සුමින්ද අල්විස් සමරසිංහ නැමති (50) හැවිරිදි එක් දරු පියෙකි.

ඔහු මොරොන්තුඩුව, කලපුගම, කජුවත්ත ලිපිනයේ පදිංචිකරුවෙකි.

මරණ පරීක්ෂණය පාණදුර මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂණ උසාවියේදී පැවැත්වූ අතර තවදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකරු මෙසේද පැවසීය.

‘මම වස්කඩුව, පනාපිටිය,ගැමුණු මාවත ලිපිනයේ පදිංචිව සිටින අතර කම්කරුවකු ලෙස රැකියාව කරනවා.මේ දවස්වල වැඩ කරන්නේ සුමේධ අයියත් එක්ක.සුමේධ මැරුණු සුමින්ද අල්විස් කියන කෙනාගේ අයියා. අද දවල් මම සුමේධ අයියලාගේ ගෙදර ඉන්නවිට සුමින්ද මල්ලි එහාට ආවා. ආවේ දවල් 1.45ට විතර. ඇවිත් මට කිව්වා මාළු මතු වෙනවා වත්තේ ඇළේ, මම මේ දැල් කෑල්ල ඇළට ඔබලා එන්නම් කියලා. ගෙදර ගල්පොත්ත උඩ තිබුණ දැලත් අරන් ගියා. ගිහින් විනාඩි 45ක් විතර ගියා. එයා ආවේ නැති නිසා මම ගියා එයා බලන්න. එයා හැමදාම මාළු අල්ලන තැනක් තිබෙනවා ඇළේ. මම ඒක දන්නවා. මම ගිහින් එතැන බැලුවා. එයා එතැන හිටියේ නැති නිසා මම ගෙදර ගියාද දන්නේ නැති නිසා එතැනම වගේ තිබෙන ගෙදරට ගිහින් මැණිකේ අක්කාගෙන් ඇහුවා සුමින්ද ආවාද කියලා. අක්කා කීවා නෑ ආවේ නෑ කියලා. මම ආයේ මැණිකා අක්කලාගේ ගෙදර ගිහින් කීවා ආවේ නෑ කියනවා කියලා. ඒත් එක්කම මැණික අක්කා කිව්වා ඕකා බීලා හිටියේ බලපන් ඇළට වැටිලාවත් ඉන්නවාද කියලා. ඒත් එක්කම එයා මාළු අල්ලන තැනට මම ගියා. යනකොට මම දැක්කා බොර පාරක් වගේ තිබෙනවා. මම එතැනට බැස්සා. බැහැලා අත්දෙක දාලා බැලුවා. මට ඊට පස්සේ එයාගේ බඩ දෙපැත්තෙන් අහුවුණා. අහුවෙද්දිම ගත්තා. උඩට ගන්න කොට මම දැනගත්තා කාලයක් යට තිබුණ නිසා එයා මැරිලා කියලා. මොකද මාව වතුරත් එක්ක ඔළුව උඩ එන තෙක් මෙතන වතුර තිබුණේ. මාව ගිලෙන්න තිබුණා. අඩි හතක් විතර තමයි වතුර තිබුණේ. මම සුමින්ද ගොඩට අරන් වේල්ල උඩට ඇදගෙන ආවා. ඇවිත් මම ගිලන්රියට කෝල් කළා.කෝල් කර කීවා සුමින්ද දියේ ගිලිලා ඉක්මනට එන්න කියලා. එතකොට දවල් 3.00ට විතර ඇති. ඒක ඉක්මනට ආවා. ඊට පස්සේ අපි සුමින්ද ගෝනදුව රෝහලට ගියා. ගෝනදූවේ රෝහලට ගියාට පස්සේ එහේ අය කිව්වා එයා මැරිලා කියලා.

මෙහිදී මියගිය අයගේ බිරිය වන රාජපක්ෂගේ රසිකා ප්‍රියදර්ශනී රාජපක්ෂ මෙසේ පැවසුවාය.

සැමියා රැකියාවට කරන්නේ කුලී වැඩ. මහත්තයා මාළු අල්ලනවා හැමදාම. එයා හැමදාම අරක්කු බොනවා. අදත් උදේ අරක්කු බීලයි හිටියේ. එයා අද උදේ 10.00 ට විතර තමයි එළියට ගියේ.බීලා දවල් 12.00ට විතර ආයේ ආවා. ඇවිත් මට දවල්ට උයලා තියන්න කිව්වා. ඊට පස්සේ මම උඩහට ගියා වතුර එකක් ගේන්න. ගිහින් එනකොට දවල් 1.00 විතර ඇති. ඒ එනකොට සැමියා ගෙදර හිටියේ නෑ. එයා වෙනදටත් ඒ වගේ ආයේ ගෙට ඇවිල්ලා ඇළට මාළු අල්ලන්න යන නිසා මම වැඩිය හොයන්න ගියේ නෑ. මට මේ ආරංචිය කියන කොට වෙලාව දවල් 3.00ට විතර ඇති. මම රෝහලට ගියේ ඒ වෙලේමයි. රෝහලේදී සිරුර භාර ගත්තා. මට මේ මරණය ගැන සැකයක් නැහැ.

මේ පිළිබඳ මරණ පරීක්ෂණය පාණදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.මුදිත කුඩාගම මහතා විසින් පාණදුර මූලික රෝහලේ දී පැවැත්විණි. බණ්ඩාරගම හදිසි මරණ පරීක්ෂක බී.සූරියආරච්චි මහතා මේ මරණය දියේ ගිලීම නිසා හුස්ම ගැනීමට වූ අපහසුතාව මත සිදු වූ මරණයක් බවට නිගමනය කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT