අනුරාධපුර පූජා නගරයේ ජේතවනාරාමය අසල මාර්ගයේ ගමන් කළ කාන්තාවකගේ කන ඉරා දමමින් පැලඳ සිටි රන් කරාඹුවක් සහ ගෙල බැඳි රන් මාලය කොල්ලකා පලා ගිය සැකකරුවකු පෙරේදා (27) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රඹෑව, යාය 4 ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි එක්දරු පියකි.
පැමිණිලිකාර කාන්තාව, ජේතවනාරාමය අසල වෙළෙඳ සලක් පවත්වා ගෙන යන අයකු බවත්, උදෑසන අටට පමණ වෙළෙඳසල විවෘත කිරීම සඳහා නිවෙසේ සිට පා ගමනින් ගමන් කරමින් සිටියදී මෙම කොල්ලකෑම සිදු කර ඇති බව පොලිසිය කියයි. එම රන් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ පහකට අධික බවට පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.
මෙම අවස්ථාවේදී ඒ ආසන්නයේ සිටි පිරිසක්, සැකකරු ලුහු බැඳ ගොස් අල්ලා ගෙන ඇති අතර අනතුරුව සැකකරු එම පිරිසගෙන් මිදී පලා ගොස් ඇති බව පොලිසිය කියයි.
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් විතානගේ මහතාගේ උපදෙස් මත, අනුරාධපුර මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.එම්. නුවන් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ජයවර්ධන, උප පොලිස් පරීක්ෂක අනුර රත්නායක, පොලිස් සැරයන්වරුන් වන කුමාර (47852), බණ්ඩාර (71448) , පො.කො. ආසිරි (81224) යන නිලධාරීහු වැටලීම සිදු කළහ.