Home » ගිරි­තලේ හමුදා කඳ­වුරේ හිටපු අණ­දෙන නිල­ධාරී ඇතුළු හමුදා බුද්ධි සාමා­ජි­ක­යන් 9කට එරෙහි නඩුව විභා­ග­යට
ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ පැහැ­ර­ගෙන යෑමේ සිද්ධිය

ගිරි­තලේ හමුදා කඳ­වුරේ හිටපු අණ­දෙන නිල­ධාරී ඇතුළු හමුදා බුද්ධි සාමා­ජි­ක­යන් 9කට එරෙහි නඩුව විභා­ග­යට

by Gayan Abeykoon
October 29, 2024 1:00 am 0 comment

චන්දන ජය­වීර

මාධ්‍ය­වේදී ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ මහතා පැහැ­ර­ගෙන ගොස් අතු­රු­දන් කළේ යැයි කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් චෝදනා කර­මින් ගිරි­තලේ හමුදා කඳ­වුරේ හිටපු අණ­දෙන නිල­ධාරී ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමා­ජි­ක­යන් නව දෙන­කුට එරෙ­හිව පවරා ඇති නඩුව විශේෂ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ ඊයේ (28දා) විභා­ග­යට ගන්නා ලදි.

මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් වන ආචාර්ය නාමල් බලල්ලේ, මහේන් වීර­මන්, සුජීව නිශ්ශංක මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත ත්‍රිපු­ද්ගල විනි­සුරු මඬුල්ල හමුවේ මෙම නඩුව විභාග වේ.

එහිදී නඩුවේ සාක්ෂි­ක­රු­වන් වශ­යෙන් නම්කර සිටින පෞද්ග­ලික දුර­ක­තන සමා­ගම් 2ක් වෙනු­වෙන් එහි නියෝ­ජි­ත­යන් අධි­ක­ර­ණය හමුවේ සාක්ෂි දෙන ලදි. විත්ති­ක­රු­වන් ලබා­ගත් දුර­ක­තන ඇම­තුම් කිහි­ප­යක් සම්බ­න්ධ­යෙන් විත්තියේ මෙහෙ­ය­වීම යටතේ ඔවුන් සාක්ෂි දීම කළේය. නඩුව දෙසැ­ම්බර් 06 වැනි දා යළි කැඳ­වී­මට නියම විය.

පසු­ගිය 2010 වසරේ ජන­වාරි මස 25 වැනි දා හෝ ඊට ආසන්න දින­ය­කදී ගිරි­තලේ, හබ­රණ හා කොට්ටාව යන ප්‍රදේ­ශ­ව­ලදී විත්ති­ක­රු­වන් තවත් නම් නොදත් පිරි­සක් සමඟ එක්ව රහ­සි­ග­තව සිර­කර තැබීමේ අර­මු­ණෙන් මාධ්‍ය­වේදී ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ පැහැ­ර­ගෙන යෑම හා මර­ණය සිදු කිරීම යන චෝදනා යටතේ නීති­ප­ති­ව­රයා දණ්ඩ නීති සංග්‍ර­හයේ 102 සමඟ කිය­විය යුතු 356, 140, 146 සමඟ කිය­විය යුතු 356, 146, 359, 32, 102 හා 113 ආ කිය­විය යුතු 355 හා 32 සමඟ කිය­විය යුතු 296 වගන්ති ප්‍රකා­රව විත්ති­ක­රු­වන්ට එරෙ­හිව කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය හමුවේ අධි චෝදනා 17ක් ගොනු කර ඇත. නඩුවේ විත්ති­ක­රු­වන් ලෙස ගිරි­තලේ හමුදා කඳ­වුරේ අණ­දෙන නිල­ධාරී ලුති­නන් කර්නල් ෂම්මි කුමා­ර­රත්න, ඩබ්ලිව්. ඩී. උප­සේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජ­පක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූප­සේන (රංජි), චමින්ද කුමාර අබේ­රත්න, කනිෂ්ක ගුණ­රත්න, අයි­යා­සාමි බාල­සු­බ්‍ර­ම­නි­යම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමා­ජි­ක­යන් නව දෙනකු නම් කර තිබේ.

අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ උපුල් කුම­ර­ප්පෙ­රුම මහතා පෙනී සිටි අතර විත්තිය වෙනු­වෙන් නීතිඥ රසික බාල­සූ­රිය ඇතුළු නීතිඥ මඬු­ල්ලක් පෙනී සිටිති. නඩු විභා­ගය සිදු­වන අව­ස්ථාව දැක­බලා ගැනී­මට අන්ත­ර්ජා­තික මානව හිමි­කම් සංවි­ධාන කිහි­ප­යක නියෝ­ජි­තයෝ අධි­ක­ර­ණ­යට පැමිණ සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT