2016 වසරේ දී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 25 වැනිදාට කල් තැබීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28) නියෝග කළේය.
මෙම නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (28) පැවැත්වීමට නියමිතව තිබූ නමුත් විමල් විරවංශ මහතාට උණ රෝගය වැලඳී ඇති හෙයින් අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි බව වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
ප්රධාන මහේස්ත්රාත්වරයා නඩුවේ සාක්ෂි විමසීම ලබන නොවැම්බර් 25 පැවැත්වීමටත් එදිනට විත්තිකරුවන්ට සහ සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමටත් නියෝග කළේය.
2016 පෙබරවාරි 6 වැනි දින, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට, තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමින් උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මඟින් පවරා තිබුණි.
ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු ශ්රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් මෙම උද්ඝෝෂණය පැවැත්විය.
විත්තිකරුවන් වන හිටපු ඇමැති විමල් වීරවංශ මහතා, වීරකුමාර දිසානායක මහතා, මොහොමඩ් මුසම්මිල්, ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න, පියසිරි විජේනායක යන අය ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියහ.