ලංකාවේ දේශීය ව්‍යවසායකයාගේ ව්‍යාපාර ලෝකය අඳුරු වීමට බලපා ඇති හේතු පිළිබඳවත්, දේශීය කර්මාන්ත නඟා සිටුවීමට නව රජය ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තිස්ස රවින්ද පෙරේරා සමඟ සිදු කළ සාකච්ඡාවකි.
* පසුගිය කාලයේ පැවැති අර්බුදකාරී වාතාවරණයත් සමඟ, ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයන්වල බිඳවැටීමට බලපෑ මූලික හේතු සාධක මොනවාද?
ප්‍රධානම කාරණය තමයි, රටේ ආර්ථික සංවර්ධන වේගය අඩුවීම හා ඒ සමඟම ඇති වුණ ඒක පුද්ගල ආදායමේ වෙනස් වීම. මේ වගේ සන්දර්භයක් ඇතුළේ තමයි දළ දේශීය නිෂ්පාදනයන් බිඳ වැටීම සිදුවෙන්නේ. 2020 වර්ෂයේ දී, ලෝකය පුරා ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතයත් සමඟම ලෝකයේ බහුතරයක් රාජ්‍යයන්වල වගේම, ලංකාවේ ආර්ථික තත්ත්වයත් විශාල බිඳ වැටීමට ලක්වුණා. වසංගත තත්ත්වය හමුවේ කිසිදු අපනයනයක් හෝ ආනයනයක් ලංකාව තුළ සිදුවුණේ නැහැ. ඒක දේශීය නිෂ්පාදනවලට ඍජුව බලපෑවා. ඒ වගේම, රුසියානු යුක්රේන අර්බුදයත් මෙම දේශීය නිෂ්පාදන බිඳවැටීමට බලපෑමක් ඇති කළා.
*කඩදාසි, සිමෙන්ති හා උළු වැනි මහා පරිමාණ දේශීය කර්මාන්ත මේ වනවිට දැඩි අර්බුදකාරී තත්ත්වයකට වැටී තිබෙනවා. මේවා නැවත නඟා සිටුවීමේ අවශ්‍යතාව මොන වගේද?
නව රජය යටතේ කඩදාසි වගේ කර්මාන්ත හොඳ තැනකට ගේන්න පුළුවන්නම් ඒක ගොඩක් වැදගත්. පහුගිය රජය යටතේ, නැවත වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව ආරම්භ කළා. නමුත්, ඒක කොතරම් දුරට සාර්ථකව ක්‍රියාත්මක වෙනවද කියලා හරියටම කියන්න බැහැ. මේවා සැලසුම්සහගතව සිදුවිය යුතු දේවල්. කඩදාසි, සිමෙන්ති හා උළු යන නිෂ්පාදනවලට අමතරව, රටේ සමස්ත දේශීය කර්මාන්තවල නඟා සිටුවීමක් අත්‍යවශ්‍යමයි. ඒ වගේම, මේ උළු කර්මාන්තය පරිසරයට විශාල හානියක් සිදුවන කර්මාන්තයක්. ඒ වගේ කර්මාන්ත ඉවත් කළ යුතු වෙනවා.
*එම කර්මාන්ත නැවත නඟා සිටුවීමට පැහැදිලි වැඩපිළිවෙළක් සකස් විය යුත්තේ කොහොමද?
පළවෙනි කාරණය, සාර්ව මට්ටමින් යුතු ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතුයි. මෙහිදී ජනාධිපතිවරයාගේ සිට පහළම ස්ථර සියල්ලෙහි දායකත්වය ඇතිව ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි. එහිදී රාජ්‍ය ව්‍යවසායකත්වයට මූලිකත්වය දෙනවද, පෞද්ගලික ව්‍යවසායකත්වයට මුල්තැන දෙනවද, එහෙමත් නැත්නම් මේ කණ්ඩායම් දෙකම එකට එකතු කරමින් නව ක්‍රමවේදයක් හඳුන්වා දෙනවද යන කාරණා තීරණය කළ යුතු වෙනවා. යම් හෙයකින් රාජ්‍ය ව්‍යවසාය ශක්තිමත් කළොත්, රට බොහොම නරක අවධියකට ගමන් කරනවා. නමුත්, මේ දෙකම එකට එකතු කළොත් රට තුළ වෙනසක් ඇති කරන්න පුළුවන් වෙනවා.
*ආර්ථික වශයෙන් දේශීය ව්‍යවසායකයන් දිරිමත් කිරීම හා ඔවුන්ව ඒ සඳහා පුහුණු කරන්නේ කොහොමද?
හොඳ ව්යවසායකෙයකුට ලෝකයේ පවතින ඕනෑම වාතාවරණයක් තුළ තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් ලංකාවේ ව්‍යවසායකයන්ට තියෙන විශාලම ගැටලුව තමයි, ලංකාවේ ආර්ථිකය බිඳ වැටුනොත්, දේශපාලනය අස්ථාවර වුණොත් ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාරය කරගෙන යාමට නොහැකි වේවි කියන කාරණය. මේ නිසා ඔවුන්ව දිරිමත් කිරීමට නම් රට තුළ, කිසිම දවසක වෙනස් නොවන ජාතික වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුතුයි.
* කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන අලෙවිකරණය හා වෙළඳපොළ ආශ්‍රිතව මතුවන ගැටලු විසඳන්නේ කොහොමද?
එවැනි ගැටලුවලට විසඳුම් ලබාදෙන විශාල ආයතන පද්ධතියක් රට තුළ ක්‍රියාත්මක වෙනවා. ගැටලුව, දේශීය කර්මාන්තකරුවා එම ආයතනවල සහාය ලබා ගන්නේ නැහැ. මුලින්ම කළ යුතු වන්නේ, දේශය ව්‍යවසායකයන් සම්බන්ධව නවතම පර්යේෂණයක් සිදු කිරීම. ඒ හරහා ඔවුන්ගේ වෙළඳපොළ ආශ්රිත ගැටලු හා අනෙකුත් ගැටලු හඳුනාගන්න පුළුවන්. ලංකාවේ කර්මාන්ත ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ වශයෙන් කොටස් හතරක් යටතේ හඳුනාගන්න පුළුවන්.
*කර්මාන්තකරුවා දිරිගැන්වීමට, නිෂ්පාදන නැවත වර්ධනය කර ගැනීමට නව රජයට විශාල වගකීමක් තියෙනවා. එහිදී රජය විසින් ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද?
අප දේශීය කර්මාන්ත නඟා සිටුවීමේ දී සියයට සියයක් රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධ නොකර ගත යුතුයි. එය අකාර්යක්ෂම ආයතන පද්ධතියක්. ඒකට හේතුව එම ආයතනවලට තිබෙන අණපනත් හා චක්‍රලේඛන. ඔවුන් මේවත් එක්ක බැඳිල තමයි ව්‍යාපාර සිදුකරන්නේ. ඒ වගේම රාජ්‍ය ආයතනවල ටික කාලයක් ගතවන විට ඇතිවන නිලබලවාදය තුළින් දූෂිත නිලධාරී මණ්ඩලයක් බිහිවෙනවා. නමුත් චීනය වගේ රටවල රාජ්‍ය ව්‍යවසායකයන් කටයුතු කරන්නේ පුද්ගලික සමාගම් වගේ. ඇයි අපිට බැරි ලංකාවෙත් ඒ ක්‍රමය ඇති කරන්න? ඕනෑවට වඩා රාජ්‍ය ව්‍යවසාය ශක්තිමත් කිරීම හානිකරයි. ඒ නිසා පෞද්ගලික අංශය මේ වැඩපිළිවෙළට සම්බන්ධ කරවා ගත යුතුයි.
රන්දි ලියනගේ