මුළු ගතම වෙහෙසී දහදියෙන් නැහැවී වෙහෙසිලා යකඩ තැළුවේ, කුසගින්න නිවා ගන්නට බව යකඩ තළන්නා එදා ගීතයකින් කීවේය. එහෙත් කාන්සිය මකා ගන්නට දෑතේ ශක්තියෙන් විස්මිත නිර්මාණ බිහිකරන්නට යකඩ තළන්නන් පසුගිය සතියේ අපට හමුවූයේ වැලිකඩ බන්ධනාගාරයේ කර්මාන්ත අංශයේදීය. එහි පිහිටා ඇති කම්මලේදී ගිනියම් කළ යකඩය සුමටව තළමින් පිහි, කැති, යකඩ ඉනි, හැඳි ආදිය තනන ඔවුහු, දැන හෝ නොදැන කළ වරදකට සිරදඬුවම් නියමවූ රැඳවූවෝය.
බන්ධනාගාර කුස්සියට අවශ්‍ය පිහි, හැඳි, මන්න, බන්ධනාගාර භූමියේ රැඳවූවන් සිදුකරන කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යකඩ ඉනි ඇතුළු උපකරණ, වැලිකඩ බන්ධනාගාරයේ තිබෙන කම්මලේ නිමවන සිරකරුවන්ගේ ගතින් වෑහෙන දාබිඳු එහි සවිශක්තියට එක් සාක්ෂියක් බව පසක් වෙයි.
සිරකරුවන්ට බත් වෑංජන ගෙනයන කල්දේරම් ද මෙහි නිපදවනු ලබයි. එමෙන්ම පරණ කල්දේරම් අලුත්වැඩියා කිරීම ද මෙම කම්මලේ සිදුවෙයි. වරදක් සිදු කිරීම සඳහා යෙදවූ එම දෑත්වල ශක්තියෙන් රැඳවූවන් තමනට බන්ධනාගාරය තුළ බත සරිකරගන්නට අවැසි උපකරණ තනන්නේ සිරකුටියකට වී නිකරුණේ කල්ගත කිරීම යුතු නොවන බව කියාපාමිනි.

කම්මල
වැලිකඩ බන්ධනාගාරයේ මෙන්ම විවිධ බන්ධනාගාරවල දෑතෙන් විස්කම් මවන රැඳවූවන් බොහෝය. සිය ඇඟිලිතුඩු මෙහෙයවමින්, මනස අලුත් නිර්මාණ කරා වෙහෙසවමින් ඔවුන් බිහිකරන නිර්මාණ විස්මිතය. ඉවතලන දෙයින්, ලී කැබලිවලින්, කුඩා යකඩ තහඩුවෙන්, රෙදි කැබලිවලින්, පොල්කටු කැබැල්ලෙන්, රැඳවූවන් නිපදවන විසිතුරු භාණ්ඩ, ගෘහ උපකරණ, අත්කම් භාණ්ඩ, බුමුතුරුණු, සියගණනක් වැලිකඩ බන්ධනාගාර කර්මාන්ත අංශයෙන් වෙළෙඳපොළට එක්වන්නේය.
එපමණක් නොව රැඳවූවන්ට ලබාදෙන කල්දේරම් බත ඒ ඒ සිරවාට්ටු කරා ගෙනයාමට අවැසි යකඩින් තැනූ අත්කරත්ත ද ඔවුන් විසින්ම නිර්මාණය කර ඇත්තේය. වැලිකඩ කාන්තා අංශයට කෑම රැගෙන යන්නේ වැලිකඩ බන්ධනාගාර මුළුතැන්ගෙයින් වන අතර, එහි ප්‍රධාන ගේට්ටුවේ සිට වැලිකඩ කාන්තා අංශය ඇත්තේ සෑහෙන දුරකිනි. සිරකරුවන්ගේ දෑතින් අල්ලාගෙන දන්කඳක් ගෙනයන්නාක් මෙන් ඒවා ඔවුන් කාන්තා අංශයට ගෙන යන්නේ හතිලමිනි. මෙයට විසඳුම් ලබාදෙන්නේ මේ යකඩ කරත්තයි. එම කරත්තවලින් වැලිකඩ කාන්තා අංශයට එන කෑම කල්දේරම් මාරුවන්නේ තල්ලු කර රැගෙන යා හැකි තවත් කරත්ත විශේෂයකටයි. ඒවා එම අංශයේ ටයිල් පොළොවේ ද ගෙන යා හැකි ලෙස රෝද සවි කර තිබේ. මේ සියල්ල නිමවා ඇත්තේ රැඳවූවන්ය. ඒ සඳහා අමුද්‍රව්‍ය සිරකරු සුබසාධන උපකමිටුවේ (වැලිකඩ) මනෝජි මහත්මිය සපයා දී ඇත. ඔවුනට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෘත්තීය පුහුණු උපදේශකයන් ලබාදෙන සති කිහිපයක පුහුණුවෙන් පසු මෙම දස්කම්, විස්කම් පාන්නට ඔවුනට හැකියාව, වාසනාව ලැබෙන්නේය.

ලෙදර් නිමැවුම
එමෙන්ම තම සිරකුටිවල තිබෙන යකඩ දැල මේ කර්මාන්ත අංශයේදී තමන්ගේ දෑතින්ම නිර්මාණය කරන්නට තරම් ඔවුන් අවාසනාවන්ත ද වී තිබේ.
මේ වැඩ අංශයේ රැඳවූවන්ට නායකත්වය දෙන්නේ වසර 12ක සිරදඬුවමකට ලක්ව සිටින කුමාරයි. එහි වැඩ කරන රැඳවූවන් 25 දෙනාට අවශ්‍ය අමුද්‍රව්‍ය, ආම්පන්න ස්ටෝරුව තුළින් ලබාදී එදිනෙදා නිමවන භාණ්ඩ පිළිබඳව සටහන් තබාගන්නේ ඔහුයි.
“මම හිරගෙදරට එන්න කලින් පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකරුවකු ලෙස කටයුතු කළා. මේ නිර්මාණවලට දායකවෙලා මම ලබන්නේ වෙනත් අන්දමේ අත්දැකීමක්. නිදහස් වී ගොස් පශ්චාද් උපාධි කටයුතු කරන්න අදහස් කර තිබෙනවා.” කුමාර අප සමඟ දොඩමළු වෙයි.
රැඳවූවන්ට අලුත් අත්දැකීමක් ලබාදෙන දේශීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දිගු ඉතිහාසයක් පුරා කියැවෙන පී.ජී. මාටින් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ පී.ජී.ඩී. නිමලසිරි මහතා පෙන්වා දෙන්නේ සිය ව්‍යාපාර පවත්වාගෙන යාමේදී පැනනැගුණ නුපුහුණු ශ්‍රමිකයන්ගේ ගැටලුව රැඳවූවන්ගෙන් විසඳුණු බවයි.
“ඇත්තටම මේ රැඳවූවන් දක්ෂ පිරිසක්” ඔවුන්ගේ නිර්මාණ ශක්තිය ඉහළයි. මීට වසර කිහිපයකට පෙර අපට ඇණවුමක් ලැබුණා බෑග් 15,000ක. වැලිකඩ රැඳවියන්ගේ දෑතින් කාර්යක්ෂමව එය ඉතා හොඳට ලබාදීමට හැකිවුණා. මම සෑම දිනකම මේ වැඩ අංශයට ඇවිත් රැඳවූවන්ගේ නිමැවුම් ගැන සොයා බලනවා. හිරගෙදරින් පිටවන අය මගේ ආයතනයේ සේවයට මා බඳවා ගන්නවා. මේ අය නිෂ්පාදනය කරන ලෙදර් නිෂ්පාදන, අප දේශීය වෙළෙඳපොළට යොමු කරනවා. හිරගෙදරින් පිටවන්නේ හිස් මිනිසකු නොවෙයි. හොඳ නිෂ්පාදනයක් අපට හිමිවනවා වගේම ඔවුන්ටත් ජීවන මාර්ගයක් හිමිවනවා.”
සිරකරු දෑතින් නිමවන නිර්මාණ දැක බලා ගැනීමට අප වැලිකඩ බන්ධනාගාරයේ කළ සංචාරයේදී අපට හමුවූ රැඳවූවන් සියලුදෙනාම ඒ කටයුතුවල නිරතව සිටියේ තමන් මේ සිටින්නේ මහඋළුගෙදර බව අමතක වූවාක් මෙන්ය.
මිනීමැරුම් චෝදනාවකට වරදකරුව මරණ දණ්ඩනය නිමවී වසර 24කට පෙර වැලිකඩ බන්ධනාගාරයට ආ සිරිපාල මේ වන විට සිය දඬුවම ජීවිතාන්ත සිරදඬුවමකට පත්ව ජනාධිපති සමාවකට නම යොමුවී සිටින සිරකරුවෙකි. මැහුම් පාටියට මුලින්ම යොමුවූ ඔහු බන්ධනාගාර කුස්සි පාටියේ ‘බාස්’ ලෙස ද කටයුතු කළේය. අද වනවිට ඔහු වැලිකඩ බන්ධනාගාරයේ කර්මාන්ත අංශය තුළ පී.ජී. මාටින් පෞද්ගලික සමාගම ඇරැඹූ සම්භාණ්ඩ නිෂ්පාදන අංශයේ නිර්මාණකරුවකු ලෙස කටයුතු කරමින් සිටින්නේය.
“මේ වැඩ අංශයේදී අපි ලෙදර් බෙල්ට්, පර්ස් වගේම බෑග් නිර්මාණය කරනවා. ඒ සඳහා පී.ජී. මාටින් ආයතනයේ නිලධාරීන් අපට පුහුණුව ලබාදුන්නා. උදේ 8.30ට වැඩට ආවම සවස 3.30ට වැඩ නිමවෙලා නැවත අපි හිර කාමරවලට යනවා. දවසකට අපිට රුපියල් 600ක් පමණ ලැබෙනවා. හිරෙන් නිදහස් වෙලා යන්න ඉක්මනට අවස්ථාව ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් මම ඉන්නේ. එළියට ගියාට පස්සේ මම එම ආයතනයේ රස්සාවකට යන්නයි හිතාගෙන ඉන්නේ. එම ආයතනයේ හිමිකරු අපට ඒ සඳහා අවස්ථාව දෙන්න සූදානම්. මගේ අතින් නිමවන ලෙදර් නිෂ්පාදන දැක්කම මට පුදුම සතුටක් දැනෙනවා.
මම වැඩිදුර ඉගෙන ගත්ත අයෙක් නෙවෙයි. තනිකඩව සිටි කාලයේ කළ වරදකට, කාලයක් ගිහින් මට ලැබුණු දඬුවමක් නිසායි මට වැලිකඩ එන්න වුණේ. ඒ ගැන මම අනේකවාරයක් දුක්වෙනවා. මම විවාහකයෙක්. මට දුවලා දෙන්නෙක් සහ පුතෙක් සිටිනවා. මගේ පුතාගේ හදවතේ සිදුරක් තිබෙනවා. ඔහුට බෙහෙත් කරන්න මම මේ කර්මාන්තවලින් උපයන මුදල් වියදම් කළා.”
නරක මිතුරන් ඇසුරු කිරීම නිසා සිරබත්කන්නට වූ නීල් මංගල පෙරේරා (48) අතින් පුද්ගලයකු මිය යන්නේ මෙයට වසර 24 කට පමණ පෙරය. ජීවිතාන්ත සිරදඬුවමක් නියම වී, අභියාචනාධිකරණයේදී ඔහුගේ දඬුවම වසර 09ක් දක්වා අඩුවූ අතර, තව වසර 03කින් ඔහු සිරගෙයින් නික්ම යන්නට ඇඟිලි ගනිමින් සිටියි. දැනට වසර 04ක් මුළුල්ලේ ඔහු වැලිකඩ සම්භාණ්ඩ නිෂ්පාදන වැඩපොළේ ‘පර්ස්’ මහන්නේ ජීවිතයට තවත් අත්දැකීමක් එක් කරගනිමිනි.
“ලෙදර් පර්ස් හදන්න අවශ්‍ය මුල් කොටස මැෂින්වලින් නිමාකර දීම මම සිදුකරනවා. Name tag එක ගහන මැෂින් එකේ කටයුතු කරන්නෙත් මම. මට දැන් මේ අංශයේ හොඳ පුහුණුවක් තිබෙනවා. නිදහස්වෙලා ඒ ආයතනයටම රැකියාවට එක්වෙන්න කියලා ලොකු සර් මට කිව්වා. යාළුවන්ගේ හබයකට අතදාලා මගේ අතින් ෙකනෙක්ගේ ජීවිතය අහිමි වුණා. මගේ වයස දැන් 48ක්. මට අද කවුරුත් නෑ. වුණ දේ තේරුම් ගන්නකොට මම පරක්කු වැඩියි. මම විවාහකයි. දරුවෙක් ඉන්නවා. වුණු හැමදේම අමතක කරලා ජීවිතය අලුතන් පටන් ගන්න හිතාගෙන ඉන්න මට හිරගෙදර කර්මාන්ත අංශයෙන් ලැබුණු මේ පුහුණුව නිසා අද මට ආදායම් මාර්ගයක් විවෘත වී තිබෙනවා.”
තඹ කම්බි සියුම්ව නවා ඉතා ඉවසීමෙන් නිම කරන modle – 06 – වායුසමීකරණ සඳහා යොදාගන්නා කොයිල් වර්ගය සාදන රැඳවූවන් 17 දෙනෙක් සිටින්නේ Tos Lanka නම් බියගම ආයෝජන කලාපයේ ආයතනය මගින් වැලිකඩ බන්ධනාගාර කර්මාන්ත අංශයේ ස්ථාපිත වැඩපොළකය. උදේ 8.30 – 4.30 වැඩමුරයට පැමිණෙන මේ රැඳවූවන් අතින් නිමවන එම වර්ගයේ කොයිල් අපනයනය කෙරේ.
එම ආයතනයේ නිෂ්පාදන සහකාර සුරංග සම්පත් මහතා අප සමඟ පැවසුවේ විවිධ වැරදි සම්බන්ධයෙන් සිරගෙදරට නියමවූ මේ අයගේ දෑත වැරදි වැඩවලට යොමු නොකොට නිසි දේට යොමුවූ විට ලැබෙන උපරිම ඵල මේ නිෂ්පාදන තුළින් ලැබෙන බවයි.
වායු සමීකරණ යන්ත්‍ර සඳහා උපයෝගි කරගන්නා එම කොයිල් අපනයනය සඳහා නිසි ප්‍රමිතියෙන් යුතු ද බැලීම Tos Lanka ආයතනයේදී සිදුකෙරෙන අතර, හොඳම නිෂ්පාදන ඉදිරිපත් කරමින් ඉලක්ක සපුරාලන රැඳවූවන්ට T – අංකයක් හිමිවෙයි.
කොයිල් හදන අල්තාෆ් නම් රැඳවූවා අප සමඟ පැවසුවේ මෙය එක්තරා ආකාරයකට තමන්ට ව්‍යායාමයක් බවයි. ‘අපි තඹ කම්බි ඔතනකොට ඇඟ වෙහෙසලා වැඩ කරනවා. මහන්සි වෙනවා. සිරකුටියකට වෙලා ඔහේ ඉන්නවාට වඩා එය මානසිකවත් හොඳ ව්‍යායාමයක්. ඒ නිසා වැඩ ඉවරවෙලා සෙල් එකට ගියාම අපට රෑට හොඳට නින්ද යනවා. අපි හිරගෙදරින් නිදහස් වෙලා ගියාම ගෙදර ඉඳලා මේ වායුසමීකරණ වැඩ කෑලි ගණනට කරන්නයි බලාපොරොත්තුව.” අල්තාෆ් පවසයි.
වැලිකඩ බන්ධනාගාර අධිකාරි ධම්මික දසනායක මහතා,
“වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි/ කාන්තා අංශ දෙකේම රැඳවූවන්ගේ දෑතින් විස්කම් නිර්මාණ රැසක් බිහිවී තිබෙනවා.
මෙහි කර්මාන්ත අංශය තුළ වඩුවැඩ කම්හල, මැහුම්, කොසු, ඉදල්, ලී කැටයම්, පොල්කටු ආශ්‍රිත නිර්මාණ, විසිතුරු භාණ්ඩ නිර්මාණ මේ ආදි නිමැවුම් රැසක් බිහිවී තිබෙනවා. බන්ධනාගාර උසස් නිලධාරීන්ගේ කාර්යාලවල තිබෙන බොහෝ උපකරණ, විසිතුරු නිර්මාණ බිහිවී තිබෙන්නේ රැඳවූවන්ගේ දෑතින්.
ඒ වගේම පෞද්ගලික ආයතන දෙකක් ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමඟ මේ රැඳවූවන්ට, කර්මාන්තවල නිරතවීමට අවස්ථාව උදාකරදී තිබෙනවා. අපේ වඩු අංශයේ ඉතා දක්ෂ වඩු කාර්මික රැඳවූවන් සිටිනවා. ඔවුන්ගේ නිර්මාණ ඇත්තටම විස්මිතයි. වැරදි දේ සිදුකරන්නට යෙදූ තම දෑතින් සියුම්ව ලී කැටයම්, දැව භාණ්ඩ නිර්මාණය කරනවා. මීගමුව අධිකරණයේ විනිසුරුගේ අසුන නිමවා තිබෙන්නේ වැලිකඩ වඩු අංශයේ රැඳවූවෙක්.
වැලිකඩ බන්ධනාගාර සහකාර අධිකාරි එල්.එස්.කේ. දොඩංගොඩ මහතා,
මැහුම් වැඩ, ලී වැඩ, මුද්‍රණ, රෙදි විවීම, අත්කම් නිර්මාණ, විසිතුරු භාණ්ඩ, ගෘහ උපකරණ නිර්මාණය වගේ විවිධ අංශ 13කින් බන්ධනාගාර කර්මාන්ත අංශය යුක්ත වනවා. විවිධ කර්මාන්තවලට යොමුවුණු රැඳවූවන් 1250ක් පමණ කොළඹ බන්ධනාගාර පරිශ්‍රය තුළ සිටිනවා. එම කර්මාන්තවල නියැළෙන රැඳවූවන් උපයන මුදල් ඔවුන්ගේ නමින් ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමක තැන්පත් ෙවනවා. ඇතැම් සිරකරුවන් කරන නිර්මාණ ඉතා විස්මිතයි. නරක දේට පෙළඹුණු ඔවුන්ගේ මනස, දෑත සියුම් නිර්මාණවලට යොදවා බිහිවන නිර්මාණ දුටුවිට ඇත්තටම පුදුම හිතෙනවා.
මේ සිරකරුවන්ගේ නිර්මාණ අප ප්‍රදර්ශනවලටත් යොමු කරනවා. සිරගතවූ පුද්ගලයෙක් නිදහස ලබා සමාජයට එක්වූ විට ඒ පුද්ගලයාට යම් ජීවනෝපායක් තිබිය යුතුයි. නිෙවසට යනවිට අතේ මුදලක් තිබිය යුතුයි. අන්න ඒ මූලික අඩිතාලම මේ කර්මාන්ත අංශයෙන් ලැබෙනවා. සාම්ප්‍රදායික පුනරුත්ථාපන ක්‍රියාවලියකින් බැහැරව හැමදාම එකම දේ නිෂ්පාදනය නොකර වෙළෙඳපොළේ ඉල්ලුම අනුව නිපැයුම් ඉදිරිපත් කිරීමටයි මේ රැඳවූවන්ට කර්මාන්ත අංශයේදී පුහුණුව ලබාදෙන්නේ. මෙයින් නිසි ප්‍රයෝජනයක් ලබාගන්න රැඳවූවනුත් අධිෂ්ඨාන කරගත යුතුයි.”
බුද්ධිකා ඉඹුලාන
ඡායාරූප – වාසිත එස්. පටබැඳිගේ
ස්තුතිය
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී බී. දිසානායක මහත්වරුන්ට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකයේ නියාමක ඩිෂාන් ඉන්ද්‍රසේකර සහ පුනරුත්ථාපන නිලධාරි ඩී.එච්. චන්ද්‍රසේකර, ඩිලානි අබේසුන්දර යන මහත්ම මහත්මීන්ට.