1931 දී සිදු කරන ලද ආණ්ඩුක්‍රම සංශෝධනයෙන් ව්‍යවස්ථාදායක මණ්ඩලය අහෝසි වී ඒ වෙනුවට රාජ්‍ය මන්ත්‍රණ සභාව බිහිවිය. දැදිගම මන්ත්‍රී ඒ.එස්. මොලමුරේ මහතා එහි ප්‍රථම සභාපති ධුරයට පත් විය. දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය 1936 දී පැවැත්විණි. මෙම මැතිවරණයට ඉදිරිපත් වූවන් මෙන්ම පත්වූවෝ ද බෙහෙවින් ඉහළ පෙළැන්තියේ උගතුන් වූ අතර මහජන මුදලින් හෝ අයථා ක්‍රමවලින් හෝ අල්ලස් ගැනීමෙන් හෝ නඩත්තු වීමට අවශ්‍ය නැති තරාතිරමේ අය වූහ.
එක්දහස් නවසීය තිහ දශකය වනවිට පුත්තලම ආසනය පුත්තලම් කළපුව අසබඩින් ආරම්භ වී යාපහුව දක්වාත්, වන්නි හත්පත්තුවේ උඩරට ප්‍රදේශය හා දෙමළ හත්පත්තුව පුරාත්, විහි දී ගිය බිම්කඩකින් සමන්විත විය. 1931 ව්‍යවස්ථාදායක මණ්ඩලයට පුත්තලම ආසනය නියෝජනය කරන ලද්දේ ශ්‍රීමත් හෙන්රි ද මෙල් මහතාය. එතුමා මොරටුවේ උපත ලබා කොළඹ උසස් අධ්‍යාපනය ලැබ කුරුණෑගල ප්‍රදේශයෙහි ඉඩකඩම් රාශියක් හිමිව තිබූ අයකු විය. 1936 පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී හෙන්රි ද මෙල් මහතාව ඡන්ද 600කින් පරාජය කොට ජේ.එච්. ඉලංගන්තිලක මහතා ජයග්‍රහණය කළේය. ජේ.එච්. ඉලංගන්තිලක යනු වන්නි හත්පත්තුවෙන් බිහිවූ රටේ මහත්මයකු වශයෙන් රාජ්‍ය සේවයෙහි නිරතව සිටි අයකු විය. 1936 සිට 1947 වසර දක්වා දීර්ඝකාලීනව පැවැති දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කටයුතු කිරීමට ඉලංගන්තිලක මහතාට නොහැකි වූ අතර එතුමා 1943 දී අභාවප්‍රාප්ත විය. අනතුරුව පැවැති අතුරු මැතිවරණයේ දී තරග බිමට අවතීර්ණ වූයේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ විදුහල්පති ධුරය දැරූ යූ.බී. වන්නිනායක මහතා සහ පුත්තලම නීතිඥයකු වූ එච්.එස්. ඉස්මයිල් මහතාය. මෙම මැතිවරණයේ දී මුල දී එච්.එස්. ඉස්මයිල් මහතාට වාසිසහගත බව පෙන්නුම් කළ ද, ඡන්ද ප්‍රතිඵලවලින් වැඩි ඡන්ද 200කින් යූ.බී. වන්නිනායක මහතා ජයග්‍රහණය කළේය.
1944 දී මෙරටට සුදුසු ආණ්ඩුක්‍රමයක් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට එවකට එංගලන්තයේ කොන්සර්වේටිව් ආණ්ඩුවේ අමාත්‍යවරයකු වූ ශ්‍රීමත් සෝල්බරි සාමිගේ නායකත්වයෙන් යුක්ත වූ ත්‍රිපුද්ගල කමිටුවක් ලක්දිවට සම්ප්‍රාප්ත වූයේය. 1944 දෙසැම්බර් මස සිට 1945 අපේ‍්‍රල් මස 09 දින තෙක් මෙරට රැඳී සිටි එම කමිටුවට සිංහල නායකයන්ගේ අදහස් ලබා ගැනීමට නොපුළුවන් වුව ද, සුළු ජාතීන් නියෝජනය කළ පක්ෂවල නායකයෝ බොහෝ දෙනෙක් තම අදහස් හා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට උනන්දු වූහ. මෙරට සමාජ සංවිධාන හා පොදු ජනයාගේ දේශපාලන පරිණත බව පිළිබඳ අදහසක් ලබා ගත් කමිටුව එවකට මන්ත්‍රණ සභාවේ සභානායකයා ලෙස කටයුතු කළ ඩී.එස්. සේනානායක මහතා ඉදිරිපත් කළ අදහස් පිළිබඳ දැඩි අවධානයක් යොමු කළේය. 1945 සැප්තැම්බර් මස ප්‍රසිද්ධියට පත් කළ සෝල්බරි කමිටුවේ නිර්දේශ මත 1947 වසරේ දී මෙරට පැවැත්වූ පළමු පාර්ලිමේන්තු මැතිවරණයට අවශ්‍ය මූලික නෛතික රාමුව සකසා ගන්නා ලද්දේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 95කට මහජන නියෝජිතයන් තෝරා ගැනීම සඳහා 1947 අගෝස්තු මස 23වැනි දින සිට සැප්තැම්බර් 20 වැනි දින දක්වා දින 19ක් පුරා පැවැති එම මැතිවරණය මෙරට දේශපාලනඥයන්ට, දේශපාලන පක්ෂවලට මෙන්ම ඡන්දය දීමට සුදුසුකම් ලැබු ජනතාවට ද නුහුරු අත්දැකීමක් වූයේය. මේ තත්ත්වය තුළ යළි ඡන්ද කොට්ඨාස බෙදීම සිදු කරනු ලැබු අතර ඒ අනුව පුත්තලම ද කොට්ඨාස දෙකක් බවට පත්විය. එනම් අලුතින් ඇතිවූ ඡන්ද කොට්ඨාසය නම් නිකවැරටියයි. පුත්තලම, මුස්ලිම්වරු බහුලව විසූ මුහුදුබඩ පෙදෙස වශයෙන් ද, දෙමළ හත්පත්තුව හා වන්නි හත්පත්තුව සිංහල බහුලව විසූ ආසනයක් වශයෙන් නිකවැරටිය නමින් ද බෙදුණි. අතුරු මැතිවරණයෙන් පරාජයට පත්වූ එච්.එස්. ඉස්මයිල් මහතා 1947 මහමැතිවරණයෙන් නිතරගයෙන්ම මන්ත්‍රී වශයෙන් පත්විය. මේ අනුව නිතරගයෙන් පත්වූ පළමු මුස්ලිම් මන්ත්‍රීවරයා ලෙස ඉතිහාසගත වන්නේ එච්.එස්. ඉස්මයිල් මහතාය.
අගමැතිව සිටි ඩී.එස්. සේනානායක මහතාගේ හදිසි අභාවයෙන් පසුව ඔහුගේ පුත් ඩඞ්ලි සේනානායක මහතා අගමැති වශයෙන් 1952 මාර්තු 22 වැනි දින අගමැති වශයෙන් දිවුරුම් දුන්නේ අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමි ඉදිරිපිටදීය. නමුත් එතුමා 1952 අපේ‍්‍රල් මස 08 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කළ අතර ඒ අනුව ඊළඟ මැතිවරණය මැයි මස 24, 26, 28 හා 30 යන දින හතර තුළ පැවැත්වීමට තීරණය කෙරිණි.
ඒ අනුව 1952 මහමැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්ෂකයකු ලෙස පුත්තලම දිස්ත්‍රික්කයෙන් එච්.එස්. ඉස්මයිල් මහතා ඉදිරිපත් විය. මොහු සමඟ සැමුවෙල් ප්‍රනාන්දු මහතා ද ඉදිරිපත් විය. මෙම මැතිවරණයෙන් එච්.එස්. ඉස්මයිල් මහතා ඡන්ද 9117ක් ලබා ගත් අතර සැමුවෙල් ප්‍රනාන්දු මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව වූයේ 2529 කි. ඒ අනුව වැඩි ඡන්ද 6588කින් එච්.එස්. ඉස්මයිල් මහතා ජය ලැබීය. සමස්ත ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්‍ෂයේ නායක ඩඩ්ලි සේනානායක මහතා 1952 ජූනි මස 19 දා දාහතර දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කර දෙවැනි වතාවටත් අගමැති වීමේ භාග්‍යය උදාකර ගත්තේය. 1947 පාර්ලිමේන්තුවේ ආහාර උප ඇමැති වූ එච්.එස්. ඉස්මයිල් මහතා, කාරක සභාවේ උප සභාපති පදවිය ද දැරූ අතර 1952 පාර්ලිමේන්තුවේ දී උප කථානායක පදවියට ද පත්විය.
1956 පැවැති මැතිවරණයෙන් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මහජන එක්සත් පෙරමුණ බලයට පත්වූ අවස්ථාවේ දී පුත්තලම ආසනය වෙනුවෙන් එච්.එස්. ඉස්මයිල් මහතා ස්වාධීනව තරග කළේය. ඔහු ඉන් ජය ලබා ගත් අතර කථානායක ධුරයට ද පත්විය. 1960 වසරේ තම දේශපාලන දිවියෙන් විශ්‍රාම යනතෙක්ම එච්.එස්. ඉස්මයිල් නම්වූ ජනනායකයා පුත්තලම ජනතාව සමඟ එකට හිඳිමින් ඔවුන්ගේ ප්‍රශ්න, ගැටලු පිළිබඳව සංවේ දී ඇසකින් බලා එම ජනතාවගේ දුක්කම්කටොලු විසඳීමට කැපවීමෙන් කටයුතු කළේය.
එම්. තාරික්