මෙරට මැතිවරණ ඉතිහාසය තුළ ඡන්ද පොරොන්දු ප්‍රධාන කාරණයකි. මෙතෙක් කලක් පැවැති සෑම මැතිවරණයක්ම ඡන්ද පොරොන්දු මත ගමන් කළ මැතිවරණ විය. පසුගිය වසර 76න් වැඩි කාලයක් ඡන්ද ලබාගැනීම සඳහා විවිධ පොරොන්දු දෙමින් ජනතාව රවටා ඇත. අතීතයෙන් වර්තමානයට පැමිණෙන විට විවිධ රජයන් නොයෙක් පොරොන්දු දෙමින් ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට උපායන් යෙදූ අයුරු අපට මතකය.
අතීතයේ පටන් වර්තමානය දක්වා වාතාවරණය තුළ දේශපාලනඥයන් වේදිකා මත දෙන ඡන්ද පොරොන්දු හුදු මායාවල් පමණක් බව ඡන්දදායකයන් අවබෝධ කරගෙන සිටී. බලය ලබා ගන්න මේ අපේක්ෂකයෝ විවිධ ආකාරයේ මානසික අල්ලස්වල යෙදුණු අයුරු ද සුලභ දසුනකි.
ශ්‍රී ලාංකේය මැතිවරණ ඉතිහාසයේ දිළිඳුකම හැමවිටම පාහේ වේදිකාවේ අලෙවි කරන භාණ්ඩයකි. කාලයක සිට මෙරට ජනතාව සුබසාධනවලට හුරුවී සිටීම ද සාමාන්‍ය කරුණකි. ශ්‍රී ලංකාව ගත් විට ජනගහනයෙන් වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පීඩා විඳින තත්ත්වයක්ද දක්නට ලැබෙන්නකි. මේ නිසාම බොහොමයක් මැතිවරණවලදී දිළිඳුකම අලෙවි කරන අයුරු ද අපට අරුමයක් නොවේ. ගෙවී ගිය දශක කිහිපය තුළ මෙරට දිළිඳුකම වර්ධනය වී ඇති අයුරු ද පැහැදිලිය. මේ අනුව සෑම ආණ්ඩුවක් පාහේම සුබසාධන පොරොන්දු වැඩි කිරීමට පියවර ගැනුණි. සෑම මැතිවරණ වේදිකාවකම දිළිඳුකම තුරන් කරනවා, දුප්පත්කමින් මුදවා ගන්නවා, සමෘද්ධිය වැඩි කරනවා, අස්වැසුම දෙනවා වගේ ඡන්ද පොරොන්දු මැතිවරණ වේදිකාවන්වල රැව් පිළිරැව් රැව් දුණි.
එසේම සහනාධාර බොහෝ සෙයින් ලබාදීම බොහෝ මැතිවරණවලදී අප දැක ඇත. විදුලි සහ ජල බිල්පත් අඩු කිරීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, ආර්ථික පීඩාව වෙනුවෙන් පවුලකට යම් මුදලක් ලබාදීම, විශ්‍රාම වැටුප් ඉහළ දැමීම, ඉන්ධන මිල පහළ හෙළීම සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ දැරිය හැකි මිලකට ලබාදීම, ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම, කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම, වතු කම්කරු දිනක වැටුප ඉහළ නැංවීම, ගොවියන්ට නොමිලේ පොහොර ලබාදීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ වැඩිහිටි දීමනාව ඉහළ නැංවීම ආදී සහන ලබාදීම ඒවා අතර වෙයි. ගුරු පත්වීම් ප්රදානය කිරීම, රැකියා විරහිත තරැණ තරුණියන්ට රැකියා ලබාදීම, ජල මූලාශ්‍ර පවිත්‍ර කර සැමට පානීය ජලය ලබාදීම, පාසල් සිසුන්ගේ දිවා ආහාරය සැපයීම, කෘෂි ආර්ථිකය ශක්තිමත් කර ස්වයංපෝෂිත රටක් ඇති කිරීම ද තවත් ඡන්ද පොරොන්දු වෙයි.
නමුත් අද රටේ ඡන්දදායකයන් වැඩි දෙනා ප්‍රතිපත්තිගරුක දේශපාලනය වෙත අවධානයක් ලබා නොදෙන අතර, මැතිවරණ ජයග්‍රහණයකින් අනතුරුව දේශපාලනඥයන්ගෙන් බලාපොරොත්තු වන්නේ තමාගේ එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න විසඳාගැනීම පිළිබඳ සහනයක් ලබා ගැනීමය. රැකියාවක් ලබා ගැනීම, සමෘද්ධි හෝ අස්වැසුම දීමනාව හිමිකර ගැනීම, බැංකු ණය ලබා ගැනීම, ගෙයක් හෝ ඉඩමක් ලබා ගැනීම, රැකියාවක උසස්වීමක් හිමිකර ගැනීම වැනි පෞද්ගලික ලාභ ප්‍රයෝජන සහිත ඒවාය. ප්‍රතිපත්තිය ගැන හෝ ජාතික ප්‍රශ්න විසඳීම පිළිබඳව රට සංවර්ධනය ආදිය පොදු යහපත් කරුණු උදෙසා ඡන්දය ප්‍රකාශ කිරීම දැක ගත නොහැකිය.
යැපුම් මානසිකත්වය
ජනතාවට සහනාධාර ලබා දීම ජනතාවට සැබවින්ම සහනයක් නොවෙයි. තමන්ට හැමදේම නොමිලේ ලබාදීම හරහා රටේ ආර්ථිකයට බලපානු ලබන බව ජනතාවත් නැවත තේරුම් ගත යුතු කාරණයකි. මේ නිසා ජනතාව සෑම දේම නොමිලේ ලැබෙන යැපුම් මානසිකත්වයෙන් මිදී ආර්ථික වශයෙන් නැඟී සිටීමට උත්සාහ කළ යුතුයි. සහනාධාර විදිහට දෙන දෑ නැවත බදු විදිහට තමන්ට ගෙවීමට සිදු වන බව ජනතාව තේරුම් ගත යුතු තවත් විශේෂ කාරණයකි.
ශ්‍රී ලංකාවේ කම්කරු ජනතාව අතරින් ඉතාමත් දුෂ්කර දිවි පෙවෙතකට හිමිකම් කියන්නේ වතු කම්කරුවන්ය. ඔවුන් ජීවත්වන්නට තරම් ප්‍රමාණවත් වැටුපක් ලබාදෙන ලෙසට රජයන්ගෙන් ඉල්ලා සිටින්නේ බොහෝ කලක සිටය. මැතිවරණ කාලයට ඡන්ද ලබා ගැනීම සඳහා අලෙවි වන භාණ්ඩයන් අතර විශේෂ භාණ්ඩයක් ලෙස වතු කම්කරුවන් පෙන්වාදිය හැකිය. මැතිවරණයක් ආසන්නයේ වතු කම්කරුවන්ගේ වැටුප් ගැන කතා කරන්නේ හුදෙක් දේශපාලන අරමුණකින් සහ ඡන්ද ලබා ගැනීම සඳහාය. එමෙන්ම වතු කම්කරුවන්ට ඉඩම් අයිතිය ලබාදීම, ඔවුන්ටම කියා නිෙවසක් ඉදිකර ගැනීමට ඉඩම් ලබාදීම ආදි පොරොන්දු විවිධ රජයන් විසින් ලබාදුණි. වතුකරයේ දමිළ නායකයන්ද වතු කම්කරුවන් රවටා වසර ගණනාවක් තමන්ගේ දේශපාලනයේ නිරත වෙමින් සිටී. පොරොන්දු ලබා දුන්නා පමණි, කම්කරුවන් තවම සිටින්නේ එකම තැනය.
මැතිවරණ සමයේ පොරොන්දු සඳහා හසුවන තවත් පිරිසක් වන්නේ ගොවියාය. ඔවුන් පොහොර නොමිලේ ලබා දීමේ සිට ගොවි විශ්‍රාම වැටුප දක්වා යන පොරොන්දුවලින් රැවටුණු පිරිසකි. නොමිලේ පොහොර ලබා දෙන බව විවිධ මැතිවරණවලදී පොරොන්දු වුවත් තවමත් නොමිලේ පොහොර ලැබී නැතැයි ගොවීන් චෝදනා කරති. මීට අමතරව ගොවීන්ගේ වගා ණය, ගොවි ණය කපා හරින බව ප්‍රධාන පක්ෂවල පොරොන්දු ගොන්නට ඇතුළත් විය. නමුත් එය පොරොන්දුවක්ම පමණක් විණි. ගොවි විශ්‍රාම වැටුපක් විවිධ රජයන් යෝජනා කළත් එය ද මැතිවරණ පොරොන්දුවක් පමණකි.
රට පුරා තරුණ තරුණියන්ට තමන්ගේම නිෙවසක් තනා ගැනීම දුෂ්කරය. තමන්ට කියා වාහනයක් ගැනීම ද සිහිනයක්ය. රාජ්‍ය සේවකයින් අත්විඳින නිවාස දුෂ්කරතා අසාමාන්‍ය වී ඇත. මැතිවරණ වේදිකාවලදී රටේ තරුණ තරුණියන් සේම රාජ්‍ය සේවකයාද රවටා ඇත. තරුණ තරුණියන්ට බ්‍රේස්ලට්, free wifi, රාජ්‍ය සේවකයාට වාහනයක් වැනි පොරොන්දු ලබාදී ඔවුන් ද රැවටීමට ලක් කළේය.
2015 දී පැවති මැතිවරණයේදී දූෂණය පිටුදැකීම, අපරාධකරුවන්ට දූෂිතයන්ට දඬුවම් දීම, ජීවන වියදම අඩු කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු පොරොන්දු ලබා දුණි. නමුත් එම පොරොන්දු ඉටු කිරීමක් එම ආණ්ඩුවෙන් සිදු නොවුණි. පසුව එම ආණ්ඩුව පරාජය වීමට එයද හේතුවක් විය.
අඩු ආදායම්ලාභී පවුල්
2020 මහමැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස ලබාදුන් පොරොන්දු මේ අයුරිනි. නිවාස නොමැති ජනතාවට නිවාස ලබා දීම, පාසල් සිසුන්ට නිල ඇඳුම් කට්ටල සහ දිවා ආහාරය ලබා දීම දක්නට ලැබුණි. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම පොහොර නොමිලේ ලබා දීම, ක්ෂුද්‍ර ණය මුළුමනින්ම කපා දැමීම, අඩු ආදායම්ලාභී පවුල්වලට රැකියා ලක්ෂයක් ලබාදීම වැනි පොරොන්දු ද ජනතාවට ලබාදුණි.
2020 මහමැතිවරණයේදී ජාතික ආරක්ෂාව කියන කාරණයට ප්‍රධාන තැනක් හිමිවිය. නමුත් 2022 වසරේ මෙරට පැවති ආර්ථික අර්බුදය පාදක කරගනිමින් මෙවර මහමැතිවරණයේදී ද ප්‍රධාන පක්ෂවල ඡන්ද පොරොන්දුවලින් වැඩි කොටස සමන්විත වන්නේ ආර්ථිකයට සම්බන්ධ ඒවායෙනි. එක් පක්ෂයක් දෙන පොරොන්දුව අබිබවා යමින් එයට වඩා වැඩි පොරොන්දුවක් දීමට අනිත් පක්ෂ කටයුතු කිරීමක් දක්නට ලැබේ. මේ සියලු පොරොන්දු හුදු කතා මිසක ඒවා ප්‍රායෝගිකව ඉටුකළ හැකි පොරොන්දු නම් නොවේ. විශාල ලෙස මුදල් වැයවන එම පොරොන්දු ඉටුකළ නොහැකි බව ඒ කවුරුත් දන්නා කරුණකි. පිරිසක් බලයට පත්වූ පසු රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 25000 කින් වැඩි කරන බව පැවසීය. නමුත් එය ප්‍රායෝගිකව ඉටු කළ නොහැකිය. 0ලක්ෂ පහළොවකට ආසන්න රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අමතර විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. මෙය ආර්ථික වශයෙන් නැඟී සිටින අප වැනි රටකට දැරිය නොහැක. මෙවැනි ආකාරයට රාජ්‍ය සේවකයින් අවස්ථාවන් ගණනාවකදී රැවටීමට ලක්විය. විවිධ මැතිවරණවලදී මෙවැනි ඉටු නොවන පොරොන්දු නිසා සිදුවන්නේ අසරණ ඡන්දදායකයා රැවටීම මිස අනෙකක් නොවේ.
ජාතික නිෂ්පාදන නැංවීම
පසුගිය මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුවන තුරු ජනතාව අවධානයෙන් බලා සිටී. ඉහළ යන ජීවන වියදමට සාපේක්ෂව සහනයක් සහ රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වීමක් ජනතාව මේ වනවිට අපේක්ෂාවෙන් සිටී. ගෑස්, විදුලිය, ජලය ගාස්තු හා බදු අඩු කිරීමටද පොරොන්දු ලබා දුන් නිසා ජනතාවට කිසියම් සහනයක් අපේක්ෂා කරයි. අපේක්ෂකයන් ඡන්දදායකයන් සතුටු කිරීම සඳහා සරල පොරොන්දු දේශපාලනයේ නොයෙදී ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් මෙවර මැතිවරණයේදී හෝ නිරත විය යුතුයි. මෙම මැතිවරණයේදී ඡන්දදායකයන්ගේ ප්‍රධානම අවධානය යොමු වී ඇත්තේ පසුගිය ආණ්ඩු අනුගමනය කළ රාජ්‍ය පාලනයේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කිරීමටයි.
225ක් ජනතාව නියෝජනය කිරීමට පාර්ලිමේන්තුවට තෝරා පත් කළේ මේ රටේ ඡන්දදායකයන්ය. පසුව 225ම හොරු යැයි පවසන්නේ ද එම ඡන්දය දුන් ජනතාවමය. මේ වනවිට රටේ දිශානතිය නව මාවතකට පිවිසෙමින් තිබේ. මෙතෙක් කල් රැවටුණු පොරොන්දු දේශපාලනය වෙනුවට ජනතාවගේ ඇත්ත ප්‍රශ්න හඳුනාගෙන ඒවාට නිසි විසඳුම් ලබාදෙන මහජන නියෝජිතයන් රටට අවශ්‍යව ඇත.
රුවන් පුෂ්ප කුමාර