Wednesday, April 9, 2025
Home » මුහුණට මුහුණ

මුහුණට මුහුණ

by Gayan Abeykoon
October 29, 2024 1:07 am 0 comment

අද මුහුණට මුහුණ සංවාදය සඳහා එක්වන්නේ ජාතික ජන බල­වේ­ගයේ ජාතික විධා­යක සභාවේ සාමා­ජික, කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂක, නීතිඥ සුනිල් වට­ගල සහ ජාතික ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණෙන් කොළඹ දිස්ත්‍රි­ක්ක­යට තරග වදින මාධ්‍ය­වේදී භක්ති ධර්ම­ප්‍රිය මෙන්ඩිස් යන අයයි.


අපට ජන­තා­වගේ හද­ගැස්ම  තේරෙ­නවා

ජාතික ජන බල­වේ­ගයේ ජාතික විධා­යක සභාවේ සාමා­ජික, කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂක, නීතිඥ සුනිල් වට­ගල

 

ඔබේ දේශ­පා­ලන පිවි­සීම කොයි ආකා­රද ?

මම දේශ­පා­ල­න­යට සම්බන්ධ වෙන්නේ 87, 88 වගේ කාල­යේදී ජනතා විමුක්ති පෙර­මු­ණට සම්බන්ධ වීමෙන්. ඒ කියන්නේ මම උසස් පෙළ කරන කාල­යේදී. උසස් පෙළින් පසු මම කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ නීති පීඨ­යට ඇතු­ළත් වෙනවා. නමුත් එව­කට පැවැති සිවිල් යුද­මය තත්ත්වය මත විශ්ව­වි­ද්‍යාල වහලා තියෙ­නවා අවු­රුදු පහක් විතර. ඒ කාලයේ තහ­නම් දේශ­පා­ල­නය ඇතු­ළෙත් මම දේශ­පා­ල­නය කළ කෙනෙක්. කුමක් හෝ වාස­නා­ව­කට මම ඉතුරු වෙනවා.

1994 නීති පිඨ­යෙන් පිටව 1996 නීති­ඥ­යෙක් ලෙස දිවු­රුම් දෙනවා. සිවිල් යුද්ධ­යක් තියෙද්දී පක්ෂ ක්‍රියා­කා­රී­ත්වය අඩ­පණ වෙනවා. කෙසේ වෙතත් 1994දී අපි පළමු වතා­වට සිවිල් යුද වාතා­ව­ර­ණ­යෙන් පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­ය­කට පිවි­සෙ­නවා. එතැ­නදී මම කළු­තර දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කර පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට තරග කර­නවා. එතැ­නදී තේරෙන්නේ හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ නිහාල් ගල­ප්පත්ති සහෝ­ද­රයා විත­රයි. එතැන ඉඳලා මේ දක්වා ආ ගමන් මඟ ඇතුළෙ සෑම පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­ය­ක­ටම මම තරග කර­නවා. 2002 ඉඳලා කොළඹ මහ නගර සභා­වට මන්ත්‍රී­ව­ර­යෙක් ලෙස යනවා. ඊට පසුව බස්නා­හිර පළාත් සභාවේ අවස්ථා දෙක­කදී පළාත් සභා මන්ත්‍රී­ව­ර­යෙක් ලෙස කට­යුතු කර­නවා.

මේක ටිකක් වෙනස් දේශ­පා­ල­න­යක්. මේක පෞද්ග­ලික වර­ප්‍ර­සාද, තාන්න­මාන්න මොකුත් නැතිව තනි­ක­රම රටක් වෙනු­වෙන් හිතලා කරන දේශ­පා­ල­න­යක්. මෙතෙක් පැවැති අනෙ­කුත් දේශ­පා­ලන ධාරා­වන් තනි­කර බැඳිලා තියෙන්නේ පෞද්ග­ලි­ක­ත්වය මත. ඒ කියන්නේ ආත්මා­ර්ථ­කා­මී­ත්ව­යයි. මෙතැන මගේ හෘද සාක්ෂි­යේම තිබුණේ අපේ රටට අවශ්‍ය වන්නේ ආත්මා­ර්ථ­කාමී සමා­ජ­යක් වෙනු­වට පරා­ර්ථ­කාමී සමා­ජ­යක්. ඒක ටිකක් අමා­රුයි. මම නගර සභාව නියෝ­ජ­නය කරද්දී එහි මන්ත්‍රී­ව­රුන් 53යි. එයින් අපි 1යි. 52ක්ම අනිත් දේශ­පා­ලන ධාරා.  ඒ අය අපෙන් අහ­නවා, මෙවැනි දේශ­පා­ල­න­යක් කරන්න ඔළුව හොඳ නැද්ද කියලා. ඔයා­ලට කව­දා­වත් දිනන්න බෑ කිය­නවා. ඊට පස්සේ බස්නා­හිර පළාත් සභාවේ මන්ත්‍රී­ව­රුන් 101යි. එතැ­නත් අපි 6 දෙනයි. අපි පක්ෂ­යක් විදි­යට ඉගෙන ගත් දෙයක් තියෙ­නවා. මේ ලෝකය මේ සමා­ජය තවත් අඩි­ය­ක්වත් ඉදි­රි­යට යන්නේ නෑ ආත්මා­ර්ථ­කාමී සිතු­විලි තියෙන මිනි­සු­න්ගෙන් කියලා. සෑම ජය­ග්‍ර­හ­ණ­යක් පිටු­ප­සම  තියෙන්නේ පරාර්ථ සාධ­න­යට නැඹුරු හද­වත් තියෙන මිනිස්සු විත­රයි කියලා.

 අනෙක් පක්ෂත් සමඟ බැලු­වාම ජාතික ජන බල­වේ­ග­යෙන් ඉදි­රි­පත් වන කණ්ඩා­යම ශක්ති­මත්ද ?

අනෙක් දේශ­පා­ලන ධාරා­වන් අති­ශය දුර්ව­ලයි. මහා රූස්ස ගස් ලෙස පැවැති දේශ­පා­ලන ව්‍යාපාර තුත්තිරි ගස් බවට පත්වෙලා. ඒක මම දැක්කේ නාම යෝජනා දෙන්න ගිය අව­ස්ථාවේ ඒ අයට බැරි වෙලා තියෙ­නවා, තමන්ගේ අපේ­ක්ෂක කණ්ඩා­යම හදා ගන්න. ඉන්න අය මත­ක­යෙන් විස්තර කරන්න බෑ. ඒ අයගේ දේශ­පා­ල­නය කොහො­මද කිය­නවා නම් අද පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය ඉදි­රියේ ඔවුන්ට දේශ­පා­ලන සටන් පාඨ­යක් නිර්මා­ණය කර ගන්න බැරි වෙලා තියෙ­නවා.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට කලින් සමගි ජන බල­වේ­ගය ගෙනා තර්කය ඔබට මතක ඇති. එකක් ආග­මික මත­වා­දය. ජාතික ජන බල­වේ­ගය ජය ගත්තොත් බුද්ධා­ගම සම්පූ­ර්ණ­යෙන්ම නැති වෙනවා කිව්වා. අනෙක පශ්චාත් මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා­ව­ලදී අපි වතු­ව­ලට පනි­නවා, ව්‍යාපාර අත්පත් කර ගන්නවා, මාස දෙකක් ඇඳි­රි­නී­තිය වැටෙයි වගේ දේ කිව්වා. ඒ කිසි­වක් නොවී ඉති­හා­සයේ ප්‍රථම වතා­වට මනුෂ්‍ය ඝාත­න­යක් නොවූ එකම මැති­ව­ර­ණය බවට පත් වුණා.  අපේ පක්ෂයේ නාය­කයා ඉල්ලී­මක් කළා, ගල් කැට­යක් අතට ගන්න එපා. රතිඤ්ඤා කර­ලක් පත්තු කරන්න එපා. හන්දි හන්දි ගානේ කිරි­බත් කන්න එපා කියලා. අපට විරු­ද්ධව අන්ත­වාදී මත­වා­ද­ව­ලට සවන් දීමක් කරලා ඡන්දෙ දුන් මනු­ස්ස­යාට අති­ශය ලජ්ජා­වක් ඇති වුණා, අනේ මේ කියපු දේවල් මොකුත් වුණේ නෑ කියලා. කොච්ච­රද කිය­නවා නම් සම­හරු අපි ඉදි­රියේ හැසි­රෙ­නවා, NPP එකට අපි ඡන්දය දැම්මා කියලා.

අනුර දිසා­නා­යක කියන්නේ මුළු රටේම ජනා­ධි­පති. විරුද්ධ පක්ෂ­යේත් ජනා­ධි­පති. එයා හරි පැහැ­දිලි දෙයක් කිව්වා. අපේ පාල­නය වෙනස්. ඒ වෙනස වෙන්නෙ මෙතෙක් පැවැ­තුණු  පාල­න­යන් තුළ සිටි ජන­තාව පාල­න­යට සම්බන්ධ වුණේ නෑ. ඉති­හා­සයේ ප්‍රථම වතා­වට අත්වි­ඳින අත්දැ­කීම තමයි, ජන­තාව මේ පාල­න­යට සම්බන්ධ වීම. මීට කලින් සිටි සෑම ආණ්ඩු­වක්ම පාල­නය කළේ එක එක කල්ලි. සටන් පාඨ නැති දේශ­පා­ල­න­යක් නිර්මා­ණය වෙලා තියෙ­නවා.

අපි විශ්වාස කර­නවා, මෙවර පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය ඇතුළෙ මේ සියලු තත්ත්ව­යන් සලකා වෙන­දා­ටත් වඩා දැවැන්ත ජයක් අත්වෙයි කියල‍ා. අපි යථා­ර්ථය හඳු­නා­ගෙන ඉන්නේ. අපිට ආවේ 42%යි. අනෙක් ධාරා­ව­න්වල එක­තුව 58%යි. නමුත් මෙවර මැති­ව­ර­ණය එහෙම වෙන්නේ නෑ.

  එයට බලපෑ හේතු මොන­වාද ?

පහ­ළම ආදා­යම් ලබන කෙනා හැම විටම ආණ්ඩුවේ දීමනා මත යැපෙන කෙනෙක්. එම ප්‍රදා­න­යන් ගන්න ඕන නිසා එයා වෙනත් මත­යක් ගැන හිතන්නේ නෑ. ඒ නිසා පව­තින රජ­යත් එක්ක එයා ඉන්නවා. ඉතින් දැන් ආණ්ඩුව අපේ. අපට විරු­ද්ධව ඡන්දය දුන් කෙනා අපි ළඟට එනවා.

අපේ නාය­කයා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට කලින් කිව්වා, ජනා­ධි­පති ධුරය ජාතික ජන බල­වේ­ග­යට දෙන්න, පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යේදී ඔය අසුද්ධ පාර්ලි­මේ­න්තුව සුද්ධ කර­නවා කියලා. හරි­ය­ටම හරි. අපි ජය ගත්තා විත­රයි, මේ රට විනාශ කළ, පාර්ලි­මේ­න්තු­වට නොගැ­ළ­පෙන බොහෝ මුහුණු තුනෙන් එකක් විතර නාම යෝජනා දීලා නෑ. ඉතුරු සංඛ්‍යාව අපි ඡන්දෙදී පර­ද්ද­නවා.

මේ කරු­ණුත් එක්ක බැලු­වාම අපට මෙවර පාර්ලි­මේ­න්තුවේ අති­ම­හත් බහු­තර බල­යක් හිමි වෙනවා.

මේ ජය­ග්‍ර­හ­ණය අත්වෙන්න විශේ­ෂම කාර­ණය වුණේ සංස්කෘ­ති­ක­මය කාරණා. විශේ­ෂ­යෙන් මජර දේශ­පා­ලන සංස්කෘ­තිය බල­පෑවා. පක්ෂයේ ඉන්නත් සල්ලි ගන්නවා. පක්ෂ­යෙන් යන්නත් සල්ලි ගන්නවා. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ පක්ෂ මාරුව නීති විරෝ­ධීයි කිව්වාට භාවි­තාව තුළ ඒක යථා­ර්ථ­යක් වෙලා නෑ. ඒ නිසා මේක නීති­යෙන්ම තහ­නම් කළ යුතුයි.

 පහළ මට්ටමේ ආදා­යම් ලබ­න්නන් ඔබේ පක්ෂය වටා එකතු වන බවට ඔබ තුළ විශ්වා­ස­යක් තියෙ­නවා කිව්වා. එසේ­නම් ඔවුන් නඟා­සි­ටු­වී­මට වැඩ­පි­ළි­වෙ­ළක් තිබේද ?

නොවැ­ම්බර් අය-වැයක් ගේන්න බෑ. අපි ගේන්නේ පරි­පූ­රක ඇස්ත­මේ­න්තු­වක්. එහෙම ගෙනත් එතෙක් යන ක්‍රියාව සම­ථ­ය­කට පත් කර ගන්නවා. ඊට පස්සේ අපි මාර්තු මාසේ අය-වැයක් ගේනවා. ඒ අය-වැය ඇතුළෙ අපි අන්ත­ර්ගත කර­නවා, පහළ මට්ටමේ ආදා­යම් ලබන කෙනා ශක්ති­මත් කිරීමේ යෝජනා ටික. වැටුප් වැඩි­වී­මක් මාර්තු අය-වැයේ බලා­පො­රොත්තු වෙන්න කීවා. අනි­වා­ර්ය­යෙන්ම දිළිඳු ජනයා නඟා­සි­ටු­වී­මට දැනට ලැබෙන දීම­නා­ව­ලට වඩා එහා ගිය දීමනා ලැබෙ­නවා. අපට ජන­තා­වගේ හද­ගැස්ම තේරෙ­නවා.

 

දිල්හානි ජය­ව­ර්ධන


අපේ උත්සා­හය පිරිහී ඇති රටට ජීවය පිඹි­න්නයි

ජාතික ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණෙන්  කොළඹ දිස්ත්‍රි­ක්ක­යට  මාධ්‍ය­වේදී භක්ති ධර්ම­ප්‍රිය මෙන්ඩිස්

 

ඔබ මාධ්‍ය­වේ­දි­යෙක් පෑන අත්හැර දේශ­පා­ල­න­යට එන්න තීර­ණය කළේ ඇයි?

ඔව්. මා පත්ත­ර­කා­ර­යෙක් වුණේ අහ­ඹු­වෙන්ම නෙවේ. මගේ තාත්තා ද බොහෝ කැප­වීම් කළ පත්ත­ර­කා­ර­යෙක්. පත්ත­ර­කා­ර­ය­කුට සමා­ජ­යට බොහෝ මෙහෙ­වර කළ හැකි බව මගේ පුංචි හිතට ඇතුළු වුණේ තාත්තා කළ කී දෑ හා ඔහුගේ කැප­වීම් දැක­ලයි.

ඉතින් මමත් ඔහුගේ සෙවණේ ගුණ­දැ­න­මු­තු­කම් ලබ­මින්, කිත්සිරි මහ­ත්තයා හා කතු මඬුල්ලේ ජ්‍යෙෂ්ඨ­යන්ගේ මඟ පෙන්වීම යටතේ මට අවැසි අඩි­තා­ලම ශක්ති­මත්ව දමා ගත්තා කීවොත්….

පෑන බිමින් තියන්න නම් මගේ කිසිම කැමැ­ත්තක් ආසා­වක් නෑ, මං අදත් පෑන සිප ඊට පස්සෙයි දවසේ අනෙ­කුත් කාර්යක් වෙත යොමු වෙන්නේ.  මං  දවස අර­ඹන්නේ එහෙම ඒ තර­ම­ටම මං පෑනට ආද­රෙයි. පෑන බිම දමා ඊනියා දේශ­පා­ල­න­ඥ­යකු වීමට නම් මගේ කිසිම කැමැ­ත්තක් නෑ, ආසා­වක් නෑ, ඒත් ගැට­ලුව තියෙන්නේ ගෙවී ගිය දැවැන්ත කාල­ප­රා­සය තුළ මේ බිමේ පව­තින අවා­ස­නා­වන්ත, අඳුරු, ජඩ පාලන ක්‍රමය කෙරෙහි මොවුන් ගැන යම් ආකා­ර­යක වැට­හී­මක් අව­බෝ­ධ­යක් ඇති වෙන්න වෙන්න හිතට දැනුණේ කල­කි­රී­මයි, පසු­තැ­වි­ල්ලයි, වේද­නා­වයි. පහු­ගිය කාලයේ දිග­ටම ජන­ම­ත­යක් ගොඩ­නැ­ඟුණෙ නැත්තං ගොඩ­නැ­ඟුවෙ පාර්ලි­මේ­න්තුවේ ඉන්න 225 එපා කිය­ලයි. ඒ 225 අතරේ මේ රටට සමා­ජ­යට වැඩ කරපු හොඳ මිනි­සුන් කී දෙනකු හිටියා ද? ඒත් මිනිස් මොළ හෝද­න්නන් කළේ ඒ ඔක්කොම එක ගොඩ­කට දාලා බැටේ දෙන එක නේද?

මෙවන් අවා­ස­නා­වන්ත තත්ත්ව­ය­කට රට පත්වුණේ කොහොම ද? මේවා අපි ඉතා විම­සි­ල්ලෙන් සැල­කි­ල්ලෙන්, විච­ක්ෂ­ණ­ශී­ලිව බලන්න  ඕනෑ. මේ රටේ 76 වස­රක කාල­යක් පුරා රට කර­වපු ඇත්තන්, කළේ රට විනාශ කිරීම නම්, අද ඈත පිටි­සර ගොවි­යන්ගෙ, ධීව­ර­යින්ගෙ, කම්ක­රු­වන් වැනි දිළිඳු පවු­ල්වල බුද්ධි­මත් දූපු­තු­නට, සර­සවි වරම් ලැබුණේ කෙසේ ද? ඒ 56 කෙරුණු සමාජ ආර්ථික, දේශ­පා­ලන හා සංස්කෘ­තික විප්ල­වය නිසා බව ඉතා පැහැ­දි­ලියි. ඒත් සර­ස­වි­වල  අදත් උපාධි හදා­රන හා හදාරා සමා­ජයේ නේක­කාර තන­තුරු දරන පිරිස, තමන් අද සිටින උසස් තත්ත්ව­යට පා නඟ­න්නට මඟ එළි­පෙ­හෙළි කරපු අයුරු අම­තක කිරීම කොත­රම් යුක්ති­යුක්ත ද යන්න කල්පනා කර බලන්න.

 මාධ්‍ය­වේ­දි­යෙක්ගේ භූමි­කා­ව­කට වඩා වැඩි වැඩ කොට­සක් දේශ­පා­ල­න­යෙන් කරන්න පුළු­වන් කියලා ඔබ විශ්වාස කර­න­වාද ?

ඒක ඉතින් අමු­තු­වෙන් කියන්න දෙයක් නෙවෙයි නේ. මාධ්‍ය­වේ­දි­යකු සතුව ඉතා පුළුල් භූමි­කා­වක් තියෙන බව සැබැයි. ඒත් ඔහුට කළ හැක්කේ යම් දෙයක් ගැන ජන­තා­වගේ මෙන්ම අදාළ වග­කි­ව­යු­ත්තන්ගේ අව­ධා­න­යට ලක් කිරීම පම­ණයි. දූෂ­ණ­යක්, අක්‍ර­මි­ක­තා­වන් පෙන්නා දීම. අනා­ව­ර­ණය කිරීම. ඒත් දේශ­පා­ලන ක්‍රියා­කා­රී­ත්වය ඔස්සේ ජන­තාව අතර‌ට ගොස් ඔවුන්ගේ අව­ශ්‍යතා හොයා බලා විමසා දැන ගෙන ඊට ඇවැසි පිළි­යම් යොදන්න සවිය ඇත්තේ රට කර­වන පිරි­සට. නැත්නම් ආණ්ඩු­වට.

ඒ වගේ­මයි විප­ක්ෂයේ දේශ­පා­ල­නයේ නියැ­ළෙ­න්න­න්ටත් සමා­ජය පීඩා­වට පත්ක­රන නැත්නම් ජනතා අව­ශ්‍යතා ඍජු­වම පාලක පක්ෂය වෙත යොමු කර­න්නත් ඔවුන් ලවා ඒවාට පිළි­තුරු සප­ය­න්නත් හැකියි. කොහොම වුණත් දේශ­පා­ල­න­ඥ­ය­කුට කළ හැකි දේ බොහො­මයි. මේ දෙක දෙකක්. කිසිදු විටෙක මාධ්‍ය­ක­රු­වාගේ මෙහෙය දේශ­පා­ල­ක­යාගේ මෙහෙ­යත් අතර ඇත්තේ අහස පොළොව හා සමාන වෙන­සක්.

 

 කොළඹ කියන්නේ දේශ­පා­ල­නයේ ප්‍රබ­ල­යන් රැසක් තරග කරන ස්ථාන­යක්. එවැනි තැනක අලුත් මුහු­ණු­ව­ලට ඉඩක් තිබෙ­න­වාද ?

කොළ­ඹට දේශ­පා­ලන ප්‍රබ­ල­යන් රැසක් තරග කර­නවා. දැන් ජන­තා­වට ඇවැසි අලු­තින් රටට යමක් කරන්න හැකි දක්ෂ පිරි­සක්. ඔවුන්ගේ සුදු­සු­කම් ගැන ඒ කියන්නේ අපේ හැකි­යා­වන් ගැන අප අතී­තයේ කරපු කියපු දේවල් ගැන ඔහුන් සෑහී­ම­කට පත්වෙ­නවා කියන විශ්වා­සය අපේ කණ්ඩා­ය­මට තියෙ­නවා.

අපේ කණ්ඩා­යමේ හුඟක් අපේ­ක්ෂ­ක­යින් විදෙ­ස්ග­තව සිට ආපහු මවු­බි­මට ආවේ මේ රට වැටී ඇති අවා­ස­නා­වන්ත තත්ත්ව­යෙන් ගලවා ගෙන මතු පර­පු­රට භාර­දීමේ දැඩි අපේ­ක්ෂා­වෙන්. ඔවුන් හැම දෙනාම පාහේ විදේ­ශ­යන්හි බොහොම සාර්ථ­කව දිවි පෙවෙ­තක් ගත කළ උද­විය. ආපහු රට හැර නොය­න්නයි ඒ හැම දෙනා­ගේම අපේ­ක්ෂාව.

කොළ­ඹට විවිධ අව­ස්ථා­වන්හි විවිධ අපේ­ක්ෂ­ක­යින් විවිධ පක්ෂ­ව­ලින් නව­ක­යින් හැටි­යට පිවිස කොළඹ ජය­ගත්තු බව කල්පනා කළොත් හොඳින් ඔබට පෙනේවි. අපි කතා කළොත් විමල් වීර­වංශ, උදය ගම්ම­න්පිල, පාඨලී චම්පික රණ­වක, ජගත් කුමාර, හර්ෂ ද සිල්වා වැනි ඇත්තන් නව­ක­යන් හැටි­යට ඇවිත් පාර්ලි­මේ­න්තුවේ අසුන් ගත්තා නේද? ජන­තා­වට ඔවුන් කෙරෙහි විශ්වා­ස­යක් ඇත්නම් අප කෙරෙහි ජය­ග්‍ර­හ­ණය වළ­ක්වන්න බෑ.

 පක්ෂ­යක් ලෙස ජන­තාව වෙනු­වෙන් තිබෙන වැඩ­පි­ළි­වෙළ කුමක් ද?

මේ රටේ සුදු­සු­කම් ඇති තරුණ පිරිස කොච්චර හිටි­යත් ඔවුන්ට ඉදි­රි­යට යන්න ඉඩ­ක­ඩක් නෑ.

ඉතින් අපේ රටේ උගත් බුද්ධි­මත් කුස­ලතා ඇති හැකි­යා­වන් ඇති නිපු­ණ­තා­වෙන් පිරුණු අය අප  ඉස්ස­ර­හට ගෙන රට­ටත් සමා­ජ­ය­ටත් ලෝක­යා­ටත් වඩාත් වැද­ගත් මෙහෙ­යක් කර­න්නට දිරි දෙනවා. ඒක අපේ වැඩ­පි­ළි­වෙ­ළෙහි ප්‍රමු­ඛ­තම අපේ­ක්ෂා­වක්.  හැබැයි ඒ සඳහා අදක්ෂ අකා­ර්ය­ක්ෂම නිල­ධා­රීන් යොදා­ගෙන බෑ, රාජ්‍ය යන්ත්‍ර­ණය කර­ක­වන දැති රෝද නිසි පරි­ද්දෙන්  සවි ශක්ති­මත් නම් පම­ණයි.

රටක සංව­ර්ධන ඉලක්ක සපුරා ගන්න මොන තරම් හොඳ ප්‍රති­පත්ති ලේඛ­න­ගත කර තිබු­ණත් සැල­සුම් සකසා තිබු­ණත්  දූෂිත දේශ­පා­ල­න­ඥ­යින් මෙන්ම දූෂිත නිල­ධා­රීන් එක්ක මේ ගමන යන්න බෑ කියන විශ්වා­සය අප දර­නවා.

රටක් දැයක් ශීඝ්‍ර සංව­ර්ධ­න­යක් කරා ඔසවා තබ­න්නට නම් මූලි­කම දේ මේ රටේ ඇති සම්ප­ත්ව­ලින් උප­රිම ප්‍රයෝ­ජන ගැනීම. ඒ කියන්නේ ඒ සම්පත් විකු­ණන් කන එක නෙවෙයි.

අපේ රට ඈත අතී­තයේ පටන් ම කෘෂි­කා­ර්මික රටක්.ඒත් අද කොහොම ද තත්ත්වය ගොවි­යාට සිය නිෂ්පා­ද­න­යට නිසි මිලක් නෑ, පාරි­භෝ­ගි­ක­යාට සාධා­රණ විදි­හට පාරි­භෝ­ගික භාණ්ඩ­යක් ගන්න බෑ, සහ­ලින් ස්වයං පෝෂිත රටක් අද කොහො­මද තත්ත්වය. මේ අත­ර­මැදි ගසා­කෑ­මට හැම පාල­ක­ය­කුම ඉඩ­කඩ පාදා දී ඇස් වහන් හිටිය එකයි කළේ.

 ජාතික ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යෙන් මන්ත්‍රී ධුර කොප­මණ සංඛ්‍යා­වක් ගනීද ?

ඒක තීන්දු කරන්නේ මේ රටේ උගත් බුද්ධි­මත් ඡන්ද­දා­ය­ක­යින් මිස අප නොවේ. අපි අපේ ප්‍රති­පත්ති ජන­තාව වෙත ඉදි­රි­පත් කළා. ඔවුන් බුද්ධි­මත් නොවී රැල්ලට හසුව ගියොත් අපට ආසන දෙක තුන­කට වඩා ලබා ගන්න නොහැකි වේවි. ඒත් ලාංකේය බුද්ධි­මත් ජනයා නිසි සේ තමන්ගේ වග­කීම ඉටු කළොත් පාර්ලි­මේන්තු රථ­ගාලේ අපේ කාර් හත අට­ක්වත් ගාල්වේවි. මේ අපි කණ්ඩා­ය­මක් පක්ෂ­යක් හැටි­යට ගන්නා වූ ප්‍රථම උත්සා­හය යි.

 

නුවන් කොඩි­කාර

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT