Home » කෑම පිඟානේ රජ්ජු­රුවෝ බීජ බෝංචි

කෑම පිඟානේ රජ්ජු­රුවෝ බීජ බෝංචි

by Gayan Abeykoon
October 29, 2024 1:04 am 0 comment

කෑම පිඟානේ රජ්ජුරුවෝ”යන අන්වර්ථ නාමයෙන් බෝංචි හඳුන්වයි. ඕනෑම මඟුල් ගෙදරක, මළගෙදරක ශ්‍රී ලංකාවේ ප්‍රධානම එළවළුවක් ලෙස බෝංචි හඳුන්වා දිය හැකියි.බෝංචි වගාවේ ප්‍රභවය ලෙස බීජ බෝංචි වගාව සැලකිය හැකිය. බීජ බෝංචි වගාවේ විශේෂත්වය නම් ඉන් 75%ක් පමණම දේශීය ගොවීන් වගා කිරීමයි.

ශ්‍රී ලංකාවේ එළවළු බීජ නිෂ්පාදනය සැලකූවිට බොහෝ එළවළු බීජ පිටරටින් ආනයනය කරයි. එහෙත් බෝංචි වගාව සැලකූ විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය.මේ දේශීය බීජ බෝංචි වගාවෙන් 80%ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මතුරට හා මන්දාරම්නුවර ග්‍රාම නිලධාරි වසම් 29ක හා වලපනේ ග්‍රාම නිලධාරි වසම්වලට යාබදවය. විවිධ කෘෂි භෝග සඳහා විවිධ සහනාධාර ලබාදීම විවිධ ආණ්ඩුවලින් සිදුකරයි. එහෙත් රජයෙන් කිසිම සහනාධාරයක් නොලබා විවිධ ප්‍රශ්නගත තත්ත්වයන් යටතේ වුවද ස්වාධීනව මේ ගොවීන් තම බීජ බෝංචි වගාව සිදුකරයි.

හඟුරන්කෙත බීජ බෝංචි වගාව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ පිහිටයි. මන්දාරම්නුවර ප්‍රදේශය සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් කතාබහට ලක්වුවද මේ ප්‍රදේශයේ ජනතාව බීජ බෝංචි වගාවෙන් ඊට වඩා බොහෝ ආදායමක් ලබා ගනී. මෙහි ඇති විශේෂත්වය නම් බීජ බෝංචි වගාකරුවන්ට තම බෝංචි අස්වැන්න විකුණා ගැනීමේදී ක්‍රම දෙකක් භාවිත කරයි.එනම් කරල් බෝංචි ලෙස හෝ බීජ බෝංචි ලෙසයි. සාමාන්‍යයෙන් කරල් බෝංචි කිලෝ 8ක් බීජ බෝංචි කිලෝ 1ක් සඳහා අවශ්‍ය වේ. එනම් කරල් බෝංචි කිලෝ 1ක මිල රු.200කට වඩා වැඩි වුවහොත් කරල් බෝංචි විකිණීම ගොවියාට වඩා වාසිදායකය. මේ නිසා බෝංචි පිළිබඳ මේ ප්‍රදේශයේ ගොවියන් අවධානයෙන් සිටින අතර ඒ අනුව විකුණන්නේ කරල් බෝංචි ද බීජ බෝංචි ද යන්න තීරණය කරනු ලබයි.

මේ ප්‍රදේශය පිදුරුතලාගල කඳු පාමුල පිහිටා තිබේ. මේ ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය 1750-2750mm වේ. උෂ්ණත්ව පරාසය සෙල්සියස් අංශක 15 – 30 අතර වේ. සෞම්‍ය දේශගුණයක් මේ ප්‍රදේශයේ පවතී. මේ ප්‍රදේශය ප්‍රධාන වශයෙන් නැඟෙනහිර දිශාවට මුහුණලා ඇති හෙයින් දවසේ වැඩි කාලයක් ගොවි බිම්වලට හිරුඑළිය වැටෙයි.මේ සුවිශේෂී තත්ත්වය බීජ බෝංචි වගාවට ඉතා වැදගත්ය. මේ තත්ත්වය වෙනත් ප්‍රදේශවල නැති එම ප්‍රදේශයටම අනන්‍ය වූ දේශගුණික තත්ත්වයකි. එය බීජ බෝංචිවල සඵලතාව 95%කට වඩා වැඩිවීමට හේතුවී ඇත. එමෙන්ම මේ ප්‍රදේශයේ බිහිවන බීජ බෝංචි පෘෂ්ටිමත්ය.

බීජ බෝංචි වර්ග ගණනාවක් ගොවීන් වගා කරයි. මේ බීජ බෝංචි වර්ග කීපයකි. කළු කැප්රි, සුදු කැප්රි, කහ කැප්රි, කැකුළු දුඹුරු (Brown) හා ලංකා බටර් බෝංචි ලෙස දැක්විය හැකිය.

මෙහිදී ලංකා බටර් බෝංචි වියළි දේශගුණයට නිර්මාණය වී ඇති බෝංචි වර්ගයකි. අනෙක් බෝංචි වර්ග ශීත දේශගුණික තත්ත්වයට ඔරොත්තු දෙයි. මෙහිදී පෙර පැවති සිට්ටි බීජ බෝංචි හා කරුණාරත්න බීජ බෝංචි ආදී විවිධ බීජ බෝංචි වර්ග ද පෙර වගා කෙරිණි. එහෙත් වර්තමානයේ හඟුරන්කෙත ප්‍රදේශයේ මේ බීජ බෝංචි වර්ග දෙක වගා කිරීමක් දක්නට නැත. භාවිතයෙන් ඉවත් වී ඇති බීජ බෝංචිවල ජානමය ලක්ෂණ කැප්රි බෝංචිවල දක්නට ඇත. මේ කැප්රි බීජ බෝංචි වගාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් පවසන ආකාරයට මේ බීජ බෝංචි විශේෂයේ මවු පරම්පරාව පැහැදිලි නැත. එමෙන්ම ජානමය වශයෙන් මේ බෝංචි වර්ගය ඒකාකාරී නොවේ. මේ හේතු නිසා බීජ බෝංචි වර්ග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ නොකරයි.බීජ බෝංචි ප්‍රති මිලදී ගැනීමේ ක්‍රමවේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව ඇත.එහෙත් මේ කැප්රි බීජ බෝංචි සහතික නොකිරීම නිසා කැප්රි බීජ බෝංචි මිලදී ගැනීමේ ක්‍රමවේදයට අයත් නොවේ.එම නිසාම ගොවීන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිශ්චිත සහායක් නොමැතිව වුවද සහතික නොකළ කැප්රි බීජ බෝංචි වගාවට ගොවීන් නිරන්තරයෙන් යොමුවීම සිදු වේ.මෙයට ප්‍රධාන හේතු කීහිපයක් ඇත.

කැප්රි බෝංචි විශේෂය ශ්‍රී ලංකාවේ බදුල්ල, බණ්ඩාරවෙල හා වැලිමඩ ප්‍රදේශවල වගා කරයි. විශේෂයෙන්ම සාපේක්ෂව ශීත දේශගුණික කලාපවල කැප්රි බෝංචි විශේෂය වගා කරනු ලබයි. මෙහි ඇති විශේෂත්වය නම් කැප්රි බෝංචි විශේෂය වෙළෙඳුන් හා පාරිභෝගිකයන් අතර අතිශය ජනප්‍රිය විශේෂයකි.

මෙයට ප්‍රධාන හේතු කීහිපයකි. කැප්රි බෝංචි විශේෂය මාංසල ගතිය බටර් බෝංචිවලට වඩා වැඩිය. මේ නිසාම එළවළුවේ නැවුම් බව සාපේක්ෂව වැඩි කාලයක් පවත්වාගෙන යාමට කැප්රි බෝංචිවලට හැකියාවක් පවතී. පාරිභෝගිකයන් තමන් මිලදී ගන්නා බෝංචිවල ඇති නැවුම්භාවය ගැන නිරන්තරයෙන් සැලකිලිමත්ය. වඩාත් වැඩි දින ගණනක් තබා ගත හැකි බෝංචි ඔවුන්ට අවශ්‍ය අතර බෝංචිවල ගුණාත්මකභාවය ඔවුන් තක්සේරු කරන්නේ එහි ඇති කෙඳිමය ගතිය ඉස්මතු වීම මතය. සාමාන්‍යයෙන් බෝංචි කරලක් මවු ශාකයෙන් ඉවත් කර දින ගණනාවක දී එහි කෙදිමය ගතිය ඉස්මතු වීම සිදු වේ. කැප්රි බෝංචිවල මේ කෙඳිමය ගතිය ඉස්මතු වීමට දින ගණනාවක් ගතවේ. මේ නිසා නම නොදන්නා වුවද කැප්රි බෝංචි ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් අතර ඉතා ජනප්‍රිය බෝංචි විශේෂයකි.

බීජ බෝංචිවල මිල ඉතා විශාල පරාසයක පවතී. එය වර්තමානයේ රු. 1000 සිට 2000 දක්වා විහිදී පවතී. බීජ බෝංචි වගාවේ ඇති විශාලම ප්‍රශ්නය නම් බීජ බෝංචි වගාකරුවන් හා බෝංචි වගාකරුවන් අතර පැහැදිලි සම්බන්ධතාවක් නැත. මේ සම්බන්ධතාව ඇති කරන්නේ බීජ බෝංචි එකතු කරන 10ට වඩා අඩු ව්‍යාපාරිකයන් පිරිසක් විසිනි. මෙහිදී ගොවීන්ට අවශ්‍ය පොහොර, කෘමිනාශක ආදිය මේ ව්‍යාපාරිකයන්ගෙන් ණය පදනම මත බීජ බෝංචි ගොවීන් ලබා ගනී. මේ තත්ත්වය තුළ බීජ බෝංචි ගොවීන් අස්වැන්න මේ ව්‍යාපාරිකයන්ට ලබාදීමට බොහෝ ගොවීන් බැඳී ඇත. මේ තත්ත්වය තුළ බීජ බෝංචි ගොවීන්ට තම අස්වැන්නට ලැබෙන මිල මේ ව්‍යාපාරිකයන් විසින් තීරණය කරනු ලැබේ. මේ නිසාම ගොවීන්ට තම බීජ බෝංචි අස්වැන්නට නිසි මිලක් නොලැබීම බොහෝවිට සිදු වේ. මේ බීජ බෝංචි වගාකරුවන් සැලකීමේදී විශාල බීජ බෝංචි වගාකරුවන් මෙන්ම කුඩා බීජ බෝංචි වගාකරුවන්ද සිටී. අඩු ආදායම්ලාභී මේ වගාකරුවන් 200ක් සඳහා රු. 50000 බැගින් ණය පහසුකම් ලබාදීමේ ක්‍රමවේදයක් හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෞභාග්‍යා ගම්මාන වැඩසටහන යටතේ ආරම්භ කර ඇත. 2022 වර්ෂයේ මහ කන්නයේදී මේ ණය සමඟම ප්‍රථම වරට කෘෂි රක්ෂණයක් බීජ බෝංචි වගාව සඳහා හඳුන්වා දෙන ලදී. 2022 මහ කන්නයේදී බොහෝ බීජ බෝංචි වගාවන්ට ඇන්ත්‍රැක්ස් රෝගය වැලඳුණු අතර එම ගොවීන්ට මේ කෘෂි රක්ෂණය මහත් අස්වැසිල්ලක් විය. ඕනෑම වර්ගයක බීජ බෝංචි වගාව සැලකීමේදී මහ කන්නයේදී විශාලම බීජ බෝංචි වගාවක් හඟුරන්කෙත සිදු කරයි. මින් 75% පමණ දේශීයව නිෂ්පාදනය කෙරේ.ඉන් 90%ක් පමණ හඟුරන්කෙත නිෂ්පාදනය කෙරේ. එනම් රටේ සමස්ත බීජ බෝංචි අවශ්‍යතාවෙන් 67.5% පමණ නිෂ්පාදනය කරන්නේ හඟුරන්කෙය.එනම් දළ වශයෙන් රුපියල් මිලියන 250 පමණ ආදායමක් හඟුරන්කෙත බීජ බෝංචි ගොවීහු නිහඬවම උත්පාදනය කරති. මෙය පැහැදිලිවම ආනයන ආදේශකයකි.මෙහි ඉතිරි 25 ප්‍රමාණය මැලේසියාව ඇතුළු පිටරටවලින් ආනයනය කෙරේ.

මේ බීජ බෝංචි විශේෂය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහතික ලත් බීජ බෝංචි වර්ගයක් නොවේ. එම හේතුව නිසාම මේ කැප්රි බීජ බෝංචි වගා කරන ගොවියන් අතරමැදියන්ගේ ග්‍රහණයට හසු වෙයි. වර්තමාන කෘෂිකාර්මික තාක්ෂණය ඉතා ඉහළ තත්ත්වයක පවතී. මෙවන් තත්ත්ව නිසා තවදුරටත් මේ බීජ බෝංචි විශේෂය සහතික ලත් බීජ බෝංචි වර්ගයක් බවට පත් කිරීමට නොහැකි වීම කනගාටුවට කරුණකි.

ශ්‍රී ලංකාවේ බීජ වර්ග නිෂ්පාදනය අතරින් ගොවීන් විසින්ම නිර්මාණය කරගෙන ශ්‍රී ලංකාවේ හොඳම ආනයන ආදේශකයක් වී ඇති මේ බීජ බෝංචි සම්බන්ධයෙන් අනාගත ශ්‍රී ලංකාවේ නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

ආර්.එම්. නිශාන්ත රාජනායක

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT