Home » නවා නවා නීතිය දැන් ගෙවී තිබේ

නවා නවා නීතිය දැන් ගෙවී තිබේ

by Gayan Abeykoon
October 29, 2024 1:00 am 0 comment

ලියා­ප­දිං­චිය නොමැති වාහන තොග පිටින් සහ හිමි­ක­රු­වන් නොමැති වාහන සිල්ලර ලෙස මේ කාල­යේදී සොයා­ගත හැක්කේය. බඩී වාහන යන ලේබ­ල­යෙන් මේ රටේ ධාව­නය වන්නා වූ වාහන වර්ග­යක් ඇත්තේය. වාහ­න­යක් ආන­ය­නය කරන විට අය කරන බද්ද විශා­ලය. මේ කාලයේ හැටි­යට නම්, ජපා­න­යෙන් ගෙන්වන වාහ­න­යක් සඳහා අප, එහි මිල මෙන් තවත් තුන් ගුණ­යක් බදු ලෙස ගෙවිය යුත්තේය. ඒ සා වැය බරක් දරා­ගෙන වාහ­න­යක් ගත නොහේ හෙයින්, බස් එක, කෝච්චිය සහ පයින් යෑම යන අංග ඔස්සේ අපගේ ප්‍රවා­හන මාධ්‍ය සරි කර ගැනීම පොදු­ජන සිරි­තය. හදි­ස්සි­ය­කට රෝද තුනක් හෝ කුලී රථ­යක් ඕඩර් කර ගමන් බිමන් යෑම ද අපට උරු­මය. හුදී ජනයා ඒ ආකා­ර­යෙන් ප්‍රවා­හ­නය සඳහා දුෂ්කර වතක් අනු­ග­ම­නය කරන්නේ වුවද මේ රටේ එක පන්ති­යක් ඒවා නොතකා වංගු ගස­න්නේය. වාහන සඳහා අධික බදු ගෙවී­මට ඔවුන් නොකැ­මැ­ත්තේය. එසේ වුවද සැපට යෑමට ඒමට කැමැ­ත්තේය.

ස්පෙයා පාට්ස් සඳහා එහෙ­මට බද්දක් ඇත්තේ නැත. වාහන හොර පාරෙන් ගෙන්වීම සඳහා වූ චෞර තිය­රිය එන්නේ මෙතැ­නිනි. ජපා­න­යෙන් අලුත් වාහ­න­යක් දෙකට කපා, කන්ටේ­නර් එක­කට දැමූ පසු ඒවා වැටෙන්නේ අම­තර කොටස් ලෙසය. ඒවාට බදු අර ආකා­ර­යට නැත්තේය. මේ නිසා දෙකට කපා එන වාහ­න­යක් පුරුද්දා ගැනීම බදු දැලෙන් රිංගා යෑම සඳහා වූ හොඳ මාව­තකි. දන්නා කියන ගරා­ජ­ය­කට ගොස් වාහ­නය පුරුද්දා ගත්ත ද ඒ සඳහා ලයි­සන් නොමැත්තේ හෙයින් පාරේ යා නොහැ­කිය. මේ සඳහා වෙනම ආකා­ර­යක ක්‍රම­වේ­ද­යක් ඇත. එකක් වන්නේ මුළු­ම­නින්ම හොර අංක­යක් ගසා ගැනී­මය. අනික වෙනත් පළා­තක ඇති තම නෑ හිත මිතු­රෙක්ගේ වාහ­න­යක අංකය ගසා ගැනී­මය. ඒ දෙකම හොර වැඩ හෙයින් වාහ­නය කිසි­දි­නක විකු­ණා­ගත නොහැ­කිය. ඇති පද­මට පැදිය හැකිය. මෝටර් රථ දෙපා­ර්ත­මේ­න්තුව පැත්තේ දන්නා කියන අයෙක් අල්ලා­ගත් සැණින්, ඔරි­ජි­නල් පොතක් සාදා­ගත හැකිය. වැඩේ සිස්ටම් එක සඳහා ද යන්නේ බැවින් සියල්ල පිරි­සි­දුය. එසේ නොමැත්තේ නම්, ඔය සඳ­හාම වූ බ්‍රෝකර් පාටි සිටියි. ඔවුහු ජීප් වෑන් බවට ද වෑන් ලොරි බවට සිට වාහන ලියා­ප­දිං­චියේ පෙර­ළි­කා­රයෝ වන්නාහ. එහෙව් පෙර­ළි­කා­ර­යෙක් අත, අවශ්‍ය ගාණ තැබූ කල අම­තර කොටස් ලෙස ගෙන්වූ කෑලි කිහි­පය, ලියා­ප­දිංචි වාහන බවට පත්ව­න්නේය. මේ රටේ ඔය ආකා­ර­යට බද්ධ කිරීම හේතු­වෙන් බදු වංචා කරන ලද වාහන පදින්නේ අප වන් දුගී මගී යාචක පිරි­වර හෝ මැද පන්තියේ පිරිස නොවේ. ලොකු අතුය. මේ රටේ සුඛෝ­ප­භෝගී වාහන නිය­මා­කා­ර­යෙන් පරීක්ෂා කර බැලු­ව­හොත් ඒවා තොග පිටින්ම හොර බඩු බව සනාථ වන්නේය.

මේ දින­වල ගෙවල් ගානේ, හෝටල්හි රථ ගාල් අස්සේ සඟවා යන්නේ මේ ජාතියේ වාහ­නය. මේ රටේ සුව­හ­සක් ජනයා කන බොන අඩු­වැ­ඩිය සඳහා ද නිය­මිත බද්ද ගෙවන කල ඒ ආකා­ර­යෙන් බදු වංචා කරන පිරිස පිළි­බ­ඳව දැන් සෙවීම ආරම්භ කළ යුත්තේය.

ප්‍රශ්නය ඇත්තේ පොලි­සි­යේය. එදා වේල සඳහා රැකි­යාව කරන පොලිස් මහ­ත්වරු මේ වන් දරුණු කේස් දැක්කා වුවද සැලි­යුට් ගසා, යෑමට හරින්නේ කාරණා කිහි­ප­යක් නිසාය. එකක් ඔය වගේ ලෙඩ ඇඟේ දා ගත් කල නිවා­ඩු­වට ගෙදර යන්නට වෙන්නේ ද නැත. අනික මේ ආකා­රයේ චරි­ත­ව­ලට කනෙ­ක්ෂන් බහුල හෙයින් පොලි­සියේ උඩ සිට පහ­ළට කෝල් එන්නේය. ඒ අනුව අව­සා­නයේ වර­ද­ක­රුවා වන්නේ හොර අල්ලපු තෙමේය. ඔය වැනි අත්දැ­කීම් ඇති රාල­හාමි සිතන්නේ දවසේ ටාගට් එක ද කවර් කර, අතට ද ගාණක් රැගෙන බැර­ක්කය පැත්තට ගොස් ඇලට් එකක් දාගැ­නීම ඇඟට සැප බවය. හෙල්මට් නොමැ­තිව බයි­සි­ක­ලයේ යෑම, බල­ප­ත්‍රය මාස­යක් දෙකක් පරණ වී තිබීම, ඉරි කැපීම, පදික වේදි­කාවේ නවතා තැබීම ආදිය මේ රටේ භයා­නක වර­ද­වල් බවට පත්ව ඇත්තේ එහෙ­යිනි.

වැ.බ. පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය පෙරේදා උදෑ­සන සියලු පොලිස් ලොක්කෝ සූම් තාක්ෂ­ණය ඔස්සේ ඇම­තු­වේය. මෙයට පෙර වාරයේ ඒ ජොබ් එක කරන ලද්දේ, විෂය භාර ඇමති විසිනි. හේ සිය යස­ස්කා­මය සරි කර­ගනු පිණිස පොලි­සිය වෙත කතාව දෙන්නේය. පොලි­ස්පති පැත්ත­කට වී එම කතාව සඳහා තාලය අල්ල­න්නේය. මේ කතාව ඊට සපුරා වෙනස්ය.

කොස්තා­ප­ල්ව­ර­යෙකු ලෙස පොලිස් සේව­යට එක්වූ වත්මන් වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා, 1988 වසරේ සිට 1992 දක්වා වූ කාල­යේදී, පොලිස් විශේෂ කාර්ය බළ­කායේ සහ රථ­වා­හන සහ අප­රාධ කොට්ඨා­සයේ සේවය කළේය. 1992 වසරේ උප පොලිස් පරී­ක්ෂක ධුර­යට උස­ස්වීම් ලැබූ ඔහු පහළ සිට ඉහළ යන සියලු ස්ථාන දන්නා හෙයින් පොලිස්  වැඩ කිඩ සියල්ල මනා අව­බෝ­ධ­යෙන් හසු­රු­ව­න්නේය. ඔහුගේ දැඩි අව­වා­දය වූයේ පොලි­සිය වනාහි දේශ­පා­ල­න­ඥ­යන් සන­සන ආය­ත­න­යක් නොව, ජන­තාව සතුටු වන ආකා­රයේ සේවය සල­සන ස්ථාන­යක් විය යුතු බවය.

මේ රටේ සියලු ජනතා අස­හන සඳහා මාවත විවර වී ඇත්තේ නෛතික ප්‍රති­පා­දන ජන­තා­වට පම­ණක් සීමා වී තිබීම නිසාය. එක්තරා කණ්ඩා­ය­මක්, අගේට නීතිය නවා­ගෙන වැඩේ කර­ග­න්නේය. ආණ්ඩුව කොයි පැත්තට ගියද වසර තිහ හත­ළි­හක් ඔය පන්තිය පොලි­සිය ආදිය ආණ්ඩු මට්ටු කර­ගෙන එහෙම ජීවත් වූ හෙයින් මේ රටේ නීතිය යන්න ආකාර දෙකක ක්‍රියා­න්වි­ත­යක් බවට එළි­පිට පත්ව තිබුණි. ඒ යුගය අව­සන් කිරීම සඳහා දැන් අව­ස්ථාව ඇත. වැ.බ. පොලි­ස්ප­ති­ව­රයා ලබාදී ඇත්තේ ඒ පණි­වි­ඩ­යය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT