ලියාපදිංචිය නොමැති වාහන තොග පිටින් සහ හිමිකරුවන් නොමැති වාහන සිල්ලර ලෙස මේ කාලයේදී සොයාගත හැක්කේය. බඩී වාහන යන ලේබලයෙන් මේ රටේ ධාවනය වන්නා වූ වාහන වර්ගයක් ඇත්තේය. වාහනයක් ආනයනය කරන විට අය කරන බද්ද විශාලය. මේ කාලයේ හැටියට නම්, ජපානයෙන් ගෙන්වන වාහනයක් සඳහා අප, එහි මිල මෙන් තවත් තුන් ගුණයක් බදු ලෙස ගෙවිය යුත්තේය. ඒ සා වැය බරක් දරාගෙන වාහනයක් ගත නොහේ හෙයින්, බස් එක, කෝච්චිය සහ පයින් යෑම යන අංග ඔස්සේ අපගේ ප්‍රවාහන මාධ්‍ය සරි කර ගැනීම පොදුජන සිරිතය. හදිස්සියකට රෝද තුනක් හෝ කුලී රථයක් ඕඩර් කර ගමන් බිමන් යෑම ද අපට උරුමය. හුදී ජනයා ඒ ආකාරයෙන් ප්‍රවාහනය සඳහා දුෂ්කර වතක් අනුගමනය කරන්නේ වුවද මේ රටේ එක පන්තියක් ඒවා නොතකා වංගු ගසන්නේය. වාහන සඳහා අධික බදු ගෙවීමට ඔවුන් නොකැමැත්තේය. එසේ වුවද සැපට යෑමට ඒමට කැමැත්තේය.
ස්පෙයා පාට්ස් සඳහා එහෙමට බද්දක් ඇත්තේ නැත. වාහන හොර පාරෙන් ගෙන්වීම සඳහා වූ චෞර තියරිය එන්නේ මෙතැනිනි. ජපානයෙන් අලුත් වාහනයක් දෙකට කපා, කන්ටේනර් එකකට දැමූ පසු ඒවා වැටෙන්නේ අමතර කොටස් ලෙසය. ඒවාට බදු අර ආකාරයට නැත්තේය. මේ නිසා දෙකට කපා එන වාහනයක් පුරුද්දා ගැනීම බදු දැලෙන් රිංගා යෑම සඳහා වූ හොඳ මාවතකි. දන්නා කියන ගරාජයකට ගොස් වාහනය පුරුද්දා ගත්ත ද ඒ සඳහා ලයිසන් නොමැත්තේ හෙයින් පාරේ යා නොහැකිය. මේ සඳහා වෙනම ආකාරයක ක්‍රමවේදයක් ඇත. එකක් වන්නේ මුළුමනින්ම හොර අංකයක් ගසා ගැනීමය. අනික වෙනත් පළාතක ඇති තම නෑ හිත මිතුරෙක්ගේ වාහනයක අංකය ගසා ගැනීමය. ඒ දෙකම හොර වැඩ හෙයින් වාහනය කිසිදිනක විකුණාගත නොහැකිය. ඇති පදමට පැදිය හැකිය. මෝටර් රථ දෙපාර්තමේන්තුව පැත්තේ දන්නා කියන අයෙක් අල්ලාගත් සැණින්, ඔරිජිනල් පොතක් සාදාගත හැකිය. වැඩේ සිස්ටම් එක සඳහා ද යන්නේ බැවින් සියල්ල පිරිසිදුය. එසේ නොමැත්තේ නම්, ඔය සඳහාම වූ බ්‍රෝකර් පාටි සිටියි. ඔවුහු ජීප් වෑන් බවට ද වෑන් ලොරි බවට සිට වාහන ලියාපදිංචියේ පෙරළිකාරයෝ වන්නාහ. එහෙව් පෙරළිකාරයෙක් අත, අවශ්‍ය ගාණ තැබූ කල අමතර කොටස් ලෙස ගෙන්වූ කෑලි කිහිපය, ලියාපදිංචි වාහන බවට පත්වන්නේය. මේ රටේ ඔය ආකාරයට බද්ධ කිරීම හේතුවෙන් බදු වංචා කරන ලද වාහන පදින්නේ අප වන් දුගී මගී යාචක පිරිවර හෝ මැද පන්තියේ පිරිස නොවේ. ලොකු අතුය. මේ රටේ සුඛෝපභෝගී වාහන නියමාකාරයෙන් පරීක්ෂා කර බැලුවහොත් ඒවා තොග පිටින්ම හොර බඩු බව සනාථ වන්නේය.
මේ දිනවල ගෙවල් ගානේ, හෝටල්හි රථ ගාල් අස්සේ සඟවා යන්නේ මේ ජාතියේ වාහනය. මේ රටේ සුවහසක් ජනයා කන බොන අඩුවැඩිය සඳහා ද නියමිත බද්ද ගෙවන කල ඒ ආකාරයෙන් බදු වංචා කරන පිරිස පිළිබඳව දැන් සෙවීම ආරම්භ කළ යුත්තේය.
ප්රශ්නය ඇත්තේ පොලිසියේය. එදා වේල සඳහා රැකියාව කරන පොලිස් මහත්වරු මේ වන් දරුණු කේස් දැක්කා වුවද සැලියුට් ගසා, යෑමට හරින්නේ කාරණා කිහිපයක් නිසාය. එකක් ඔය වගේ ලෙඩ ඇඟේ දා ගත් කල නිවාඩුවට ගෙදර යන්නට වෙන්නේ ද නැත. අනික මේ ආකාරයේ චරිතවලට කනෙක්ෂන් බහුල හෙයින් පොලිසියේ උඩ සිට පහළට කෝල් එන්නේය. ඒ අනුව අවසානයේ වරදකරුවා වන්නේ හොර අල්ලපු තෙමේය. ඔය වැනි අත්දැකීම් ඇති රාලහාමි සිතන්නේ දවසේ ටාගට් එක ද කවර් කර, අතට ද ගාණක් රැගෙන බැරක්කය පැත්තට ගොස් ඇලට් එකක් දාගැනීම ඇඟට සැප බවය. හෙල්මට් නොමැතිව බයිසිකලයේ යෑම, බලපත්‍රය මාසයක් දෙකක් පරණ වී තිබීම, ඉරි කැපීම, පදික වේදිකාවේ නවතා තැබීම ආදිය මේ රටේ භයානක වරදවල් බවට පත්ව ඇත්තේ එහෙයිනි.
වැ.බ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පෙරේදා උදෑසන සියලු පොලිස් ලොක්කෝ සූම් තාක්ෂණය ඔස්සේ ඇමතුවේය. මෙයට පෙර වාරයේ ඒ ජොබ් එක කරන ලද්දේ, විෂය භාර ඇමති විසිනි. හේ සිය යසස්කාමය සරි කරගනු පිණිස පොලිසිය වෙත කතාව දෙන්නේය. පොලිස්පති පැත්තකට වී එම කතාව සඳහා තාලය අල්ලන්නේය. මේ කතාව ඊට සපුරා වෙනස්ය.
කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ වත්මන් වැඩබලන පොලිස්පතිවරයා, 1988 වසරේ සිට 1992 දක්වා වූ කාලයේදී, පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ රථවාහන සහ අපරාධ කොට්ඨාසයේ සේවය කළේය. 1992 වසරේ උප පොලිස් පරීක්ෂක ධුරයට උසස්වීම් ලැබූ ඔහු පහළ සිට ඉහළ යන සියලු ස්ථාන දන්නා හෙයින් පොලිස් වැඩ කිඩ සියල්ල මනා අවබෝධයෙන් හසුරුවන්නේය. ඔහුගේ දැඩි අවවාදය වූයේ පොලිසිය වනාහි දේශපාලනඥයන් සනසන ආයතනයක් නොව, ජනතාව සතුටු වන ආකාරයේ සේවය සලසන ස්ථානයක් විය යුතු බවය.
මේ රටේ සියලු ජනතා අසහන සඳහා මාවත විවර වී ඇත්තේ නෛතික ප්‍රතිපාදන ජනතාවට පමණක් සීමා වී තිබීම නිසාය. එක්තරා කණ්ඩායමක්, අගේට නීතිය නවාගෙන වැඩේ කරගන්නේය. ආණ්ඩුව කොයි පැත්තට ගියද වසර තිහ හතළිහක් ඔය පන්තිය පොලිසිය ආදිය ආණ්ඩු මට්ටු කරගෙන එහෙම ජීවත් වූ හෙයින් මේ රටේ නීතිය යන්න ආකාර දෙකක ක්‍රියාන්විතයක් බවට එළිපිට පත්ව තිබුණි. ඒ යුගය අවසන් කිරීම සඳහා දැන් අවස්ථාව ඇත. වැ.බ. පොලිස්පතිවරයා ලබාදී ඇත්තේ ඒ පණිවිඩයය.