කෝපි කඩේ සංස්කෘතිය මෙරට තිබුණේ දහඅටවැනි සියවසේ මැදභාගයේදීයි. නමුත් දහනව වැනි සියවස ආරම්භවන විට කෝපි සංස්කෘතිය උඩරටින් ගිලිහුණේ තේ සංස්කෘතියට සේන්දු වෙමිකි. නමුත් ලෝකය පුරා තවමත් ප්‍රමුඛව ඉදිරියෙන් තිබෙන්නේ කෝපි සංස්කෘතියි. කෝපි සාප්පු (coffee shop) වෙනම සෞන්දර්යයකි. දිගන, මාබේරියතැන්න පශු සම්පත් මණ්ඩලයට අයත් කෝපි සාප්පුව (coffee shop) අමුද්‍රව්‍ය සඳහා අගය එකතු කරමින් නවෝත්පාදනය කිරීම පිළිබඳ සුවිශේෂී උදාහරණයකි.
“අක්කර දහස් ගණන් කැලෑ මෙසේ එළිකිරීමෙන් හා ගිනි තැබීමෙන් ස්වභාවධර්මය වෙනස් වී තිබෙනවා. සමහර විට ආචාර්ය ත්වයිට්ස් මහත්තයා සමඟ වැඩි දෙනෙක් එකඟ නොවුණත් ඔහුගේ විශ්වාසය කෝපි පැළයට සෙවණ අවශ්‍ය බවත් එය එළිමහනේ තිබීමෙන් ඊට රෝග වැලඳෙන්නට ඉඩ ඇති බවත්ය.
ටොම් හෙමිහිට හිස සැලීය. “ඔහු හරි බවට මට සැකයක් නෑ. නමුත් දුරට පේනකොට මට ඒ කීම විශ්වාස කරන්න අමාරුයි” ඔහු මෙසේ කීවේ එවේලේ ඔවුන් පසු කරමින් සිටි කෝපි වැවිල්ලක් දෙස බලා හිස සලමිනි. එකිනෙකට ළංව අක්කරයක් අක්කරයක් පාසා තද කොළ පාටින් යුත් කොළ, ගැවසී ගත් ඉතා සරු ලෙස අතුපතර විහිදෙමින් වැඩෙන බැව් හැම අතින්ම පෙනුණි.
“ඔව්, දැනට ඒවා සශ්‍රික තමයි. ඒ නමුත් ආචාර්ය ත්වයිටිස් මහත්තයා කල්පනා කරන්නේ මෙරට කෝපි වැවිල්ල දියුණු කිරීමට තවත් ඉඩ තිබෙන බවයි. මේ රටේ සම්පූර්ණ ආර්ථික අනාගතය එකම වැවිල්ලකට සීමා කිරීම නුවණට හුරු යැයි ඔබ සිතනවා ද?”
මේ කෝපි කාලය පිළිබඳව කියවෙන අපූර්ව නවකතාවකින් කොටසකි. එය හමුවෙන්නේ 1962දී සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් “තිත්ත කෝපි” නමින් සී.ඒ. විජේකෝන් විසින් පරිවර්තනය කරමින් ප්‍රකාශයට පත්කරන ලද ක්‍රිස්ටීන් විල්සන් විසින් රචිත “Bitter Berry” නවකතාවෙහිය.
මෙරට කෝපි වගාවේ ස්වර්ණමය යුගය 1860 දශකය ලෙස සලකයි. මෙම වකවානුව වනවිට හෙක්ටයාර 100,000ක් පමණ කෝපි වගාව සඳහා වෙන්වී තිබිණි.
නමුත් මුලින් කී සංවාදය සත්‍ය වෙමින් කෝපි වගාව කොළ තඹ පැහැවීමේ රෝගයකට ගොදුරු වී ඇති අතර කෝපි වගාවෙන් දියුණුවීමේ අදහසින් මෙහි පැමිණ මහ පොළොව සමඟ අරගල කළ විදේශික වැවිලිකරුවන් බොහෝ දෙනෙකුට කෝපි වගාව නිසා මුහුණදීමට සිදුවූයේ මහත් ව්‍යසනයකටය.
“තේ ” වගාව මෙරට ආරම්භ වෙන්නේ ඉන් අනතුරුවයි.
වැවිලි කර්මාන්තයේ විවිධ අවධීන් හා අත්දැකීම් ඇසුරින් ආර්ථික සැලසුම් සකසා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. වැඩි ඵලදායිතාව, භෝග විවිධාංගීකරණය, කාබනික කෘෂිකර්මාන්තය, හරිතාගාර තාක්ෂණය ආදී නවෝත්පාදන ක්‍රම ශිල්ප මෙන්ම විවිධ ආහාර සංස්කෘතීන් සඳහා පසුබිම සැකසීම ද වැදගත්ය.
කෝපි පරිභෝජනයේ ලෝක වෙළෙඳපොළේ සංසරණය වන මූල්‍ය වටිනාකම ඩොලර් බිලියන 650කි. දිගන, මාබේරියතැන්නේ විවෘතකොට ඇති නවීන පන්නයේ කෝපි අවන්හල කෝපි ඇට අලෙවි කිරීමෙන් නොනැවතී කෝපි සංස්කෘතිය සඳහා ඉඩහසර විවර කිරීමකි.
ජාතික පශු සම්පත් මණ්ඩලයේ දිගන, මහබේරියතැන්න ගොවිපොළ සත්ත්ව පාලනය මෙන්ම උඩරට පළාතට ආවේණික සුළු අපනයන භෝග මෙන්ම වැවිලි කර්මාන්තයට අයත් භෝග වගාකොට ඇති සශ්‍රික ගොවිබිමකි. වසර 100කට වඩා පැරණි කෝපි වගාවක් මෙහි අක්කර 25ක් 40ක පමණ ප්‍රදේශයක මිශ්‍ර භෝග ලෙස ස්ථාපිතව පවතියි. ගව පාලනය, කුකුළු පාලනය, එළු පාලනය වැනි සත්ත්ව පාලනය ද මෙම ගොවිපොළ ආශ්‍රිතව සිදුවීම නිසා මෙම වාණිජ වගාවන් සඳහා කාබනික පොහොර නොඅඩුව ලැබෙයි. මේ හේතු නිසාම වසර 100ක් තරම් පැරණි කෝපි ගස් ගොවිපොළ පුරා තැනින් තැන පැතිරී පැවතිය ද ඒවාගෙන් ලැබෙන අස්වැන්න මෑතකාලයේ සිටවූ ගස්වලින් ලැබෙන අස්වැන්නට යම් පමණකින් සමාන වී තිබේ.
මහබේරියතැන්න ගොවිපොළේ සහකාර සාමාන්‍යාධිකාරි නාමල් අමුණුගම කෝපි සාප්පුව පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි. “අපේ ගොවිපොළ ආශ්‍රිතව කෝපි වගාව ඉතාමත් උසස් තත්ත්වයේ රසයක් දෙන කෝපි ප්‍රභේදයකින් යුතු වගාවක්. මෙහි සේවය කළ ජයන්ත විජේරත්න මහතාගේ අදහසක් අනුව කෝපි සාප්පුවක් ආරම්භ කළා. නවෝත්පාදන වැඩසටහනක් විදිහට මේ වැඩසටහන අප වෙත යෝජනා කළ තවත් රජයේ ආයතනයක් වන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම පිළිබඳවත් අප සිහිපත් කරන්නේ කෘතවේදීවයි. ව්‍යාපාරයට නව අංගයක් එක්කරමින් ආදායම් ඉහළ දැමීමට වගේම ගොවිපොළ සතු සම්පත් උපරිම මට්ටමෙන් ප්‍රයෝජනයට ගැනීම පිළිබඳවත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සන්නිවේදන අංශයේ රුවන් බස්නායක වැනි මහත්වරුන්ගේ උපදේශකත්වය මේ සඳහා වැදගත් වුණා.
දිගන ගොල්ෆ් ක්‍රීඩා පිටිය පිහිටා තිබෙන්නේත් අපේ ගොවිපොළට ආසන්නයේමයි. මේ ස්ථානයට විදෙස් සංචාරකයන් පැමිණෙනවා. ගොල්ෆ් සංස්කෘතියට ළැදි දේශීය පිරිසක් නිරන්තරයෙන් මේ අසල ගැවසෙනවා. මේ පිරිස පිළිබඳවත් සැලකිලිමත් වෙමින් අපි කෝපි සාප්පුව ආරම්භ කළා. එය ඉතාමත් සාර්ථකත්වයෙන් දැන් පවත්වාගෙන යනවා.”
නවීන පන්නයේ කෝපි පානයන් ලබාදීමට කැපවීමෙන් කටයුතු කරන්නේ NLB හි කෝපි සාප්පුවේ කළමනාකරු ජනක ලියනාරචිචි මහතායි. ලෝකයේ රසවත් ආකාරයෙන් සැකසෙන කෝපි කෝප්පයක් මෙරටදී පානය කිරීමට අවස්ථාව සලසා දෙන ජනක මහතා කෝපි අවන්හල ස්ථාපිත කිරීම සඳහා යොදාගෙන ඇත්තේ පැරණි කෝපි කර්මාන්ත ශාලාවයි. එම ගොඩනැඟිල්ලේ ඇති පුරාවිද්‍යාත්මක හා ඉපැරණි කෝපි සංස්කෘතික පෙනුම ද මෙම අලෙවිසලට එක්කර ඇත්තේ විශේෂ වටිනාකමකි. “කෝපි කියන්නේ අගනා සංස්කෘතියක්. එය ගෝලීය වටිනාකමකින් යුතු සංස්කෘතියක්. ඉන් අල්පයක් අපගේ ගොවිපොළ ආශ්‍රිතව ඇතිකිරීමට ලද මේ අවස්ථාව ඉතාමත් වැදගත්. අපේ අවන්හලේ නිපදවන කෝපි, ඒ සඳහා යොදාගන්නා කිරි, අයිස්ක්‍රීම් මේ සියල්ල අපගේම නිෂ්පාදන. මේ සියල්ල අතරින් අපි එක්කරන්නේ ලෝකයම පිළිගන්නා සුවිශේෂී රසයක්. අපේ අවන්හලට සමීප පාරිභෝගිකයන් පිරිසක් ඉන්නවා.
කෝපි පානයට පැමිණෙන කෝපිලෝලීන්ට අපේ පරිශ්‍රයේදී කෝපි පැළයක් මිලදී ගැනීමටත් දැන් අවස්ථාව තිබෙනවා. “ජනක මහතා පවසන්නේ උද්‍යෝගයෙන්. අයිස්ක්‍රීම් යොදා සැකසූ සුවිශේෂී කෝපි ආහාරය අපිට හිමිවූයේ ඒ උද්‍යෝගයේ ප්‍රතිඵලයක් විදිහටයි.
බුද්ධිකා බ්‍රාහ්මණගේ