පාතාලයේ අපරාධකරුවන් හා මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පවත්වමින් රාජ්‍ය බුද්ධි තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත ලබාදුන්නේ යැයි කියනු ලබන රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව විශේෂ කාර්ය බළකායේ කිළිනොච්චිය කඳවුරේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු පෙරේදා (27) අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේද කිළිනොච්චිය කඳවුරේ නිලධාරීන් විසිනි.
මෙම කොස්තාපල්වරයා සතුව තිබී ජංගම දුරකතන 06ක් සහ සිම් කාඩ්පත් 07ක් ද විශේෂ කාර්ය බළකාය සිය භාරයට ගෙන ඇත. එම දුරකතන හා සිම්කාඩ්පත් සමඟ විමර්ශන කටයුතු සඳහා කොස්තාපල්වරයා කිළිනොච්චිය පොලිස් ස්ථානයට භාර දී තිබේ. එහිදී එම කොස්තාපල්වරයා පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ උසස් පොලිස් නිලධාරියකු විසින් පවත්වනු ලබන අනියම් සම්බන්ධයක් ඇතුළු එම නිලධාරියාගේ විෂමාචාර ක්‍රියා ගැන තොරතුරු රැසක් තමා සතුව ඇති බවය. ඒ ගැන උරණව සිටින එම උසස් නිලධාරියාගේ සැලසුමකට අනුව තමා අත්අඩංගුවට ගෙන තිබෙන බව ද ඔහු පවසා තිබේ. මේ ගැන තමාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් හමුවේ රහසිගත පාපොච්චාරණයක් කරන බව ද ඔහු පොලිසිය හමුවේ පවසා ඇත.
මෙම නිලධාරියා රාජ්‍ය බුද්ධි සේවයේ දක්ෂ ලෙස රාජකාරි ඉටුකර ඇති නිලධාරියෙක් බවත්, ඔහු කර ඇති සේවය වෙනුවෙන් ප්‍රශංසා මෙන්ම ත්‍යාග පවා ලබාගෙන ඇති නිලධාරියෙක් බවත් රාජ්‍ය බුද්ධි සේවා තොරතුරු සඳහන් කළේය. මෙම නිලධාරියාට එරෙහිව මෙවැනි චෝදනාවක් එල්ලවීම ගැන රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ද පුදුමයට පත්ව ඇතැයිද පොලිස් තොරතුරු සඳහන් කළේය.