ඒ 6 සහ ඒ 9 යන මාර්ග සම්බන්ධ කිරීමේ අරමුණෙන් කාපට්කර පිළිසකර කරන ලද කිලෝ මීටර් 8ක් පමණ වන මාර්ගය වසර හත අටක් යාමටත් පෙර අබලන් වී යාමට පටන්ගෙන ඇති බැවින් එම මාර්ගයේ ප්රවාහන සේවාවන් පවත්වාගන යාම මහත් අපහසුවක්වී ඇතැයි වාහන හිමියෝ මෙන්ම පෙදෙස්වාසීහුද පවසති. විදෙස් ආධාර මත රුපියල් මිලියන දෙසීයක පමණ මුදලක් වැයකර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කිලෝමීටර් 8ක් පමණ වන පන්නම්පිටිය සිට පහළවැව දක්වා විහිදී ඇති මෙම මාර්ගය පිළිසකර කරන ලදි.
අනතුරුව 2015 වසරේදී පැවැති මැතිවරණය අවසන් වීමත් සමඟම පන්නම්පිටිය සහ පහළවැව මංසන්ධි අසල සවිකර තිබූ දැන්වීම් පුවරුද යම්කිසි පිරිසක් පැමිණ ගලවාගන ගොස් ඇති බව ඇසින්දුටුවෝ පවසති.
කෙසේවෙතත් මෙම මාර්ගය මෙසේ කෙටිකලක් තුළදී අබලන් වීම මහත් ගැටලුවක් බව පවසන පෙදෙස්වාසීහු මෙම තත්වය නිසා සිය කෘෂිද්රව්ය වෙළෙඳ පොළට ගෙනයාමද අපහසුවී ඇතැයි සඳහන් කරති. පෙදෙස්වාසීන්ගේ අදහසවී ඇත්තේ මෙම මාර්ගය කිසිදු ප්රමිතියකින් තොරව සිදුකිරීම නිසා මෙසේ අබලන්වී ඇති බවය. මේ සම්බන්ධයෙන් පෙදෙස්වාසීන් පවසන්නේ මෙම මාර්ගය ඔස්සේ දිනපතා වැලි පැටවූ ටිපර් රථ දෙසීයකට අධික ප්රමාණයක් මෙන්ම වෙනත් බර වාහනද ධාවනය කිරීම මෙම මාර්ගයේ පැවැත්මට ඔරොත්තු නොදෙන බවය. තත්ත්වය මෙසේ බැවින් පන්නම්පිටිය සිට ඇතාබැඳිවැව හරහා පහළවැව මංසන්ධිය දක්වා විහිදී ඇති මෙම මාර්ගය කඩිනමින් නැවත පිළිසකර කළ යුතු යැයි පෙදෙස්වාසීහු අවධාරණය කරති.
මාතලේ දිස්ත්රික් සමූහ – ඒ.ඒ.එල්. ඩයස්