යාපනයේ සිට කොළඹ කොටුව දක්වා ගමන් කළ පර්යේෂණ දුම්රියක කොඩිකාමම් ප්‍රදේශයේදී වෑන් රථයක් ගැටීම නිසා එහි ගමන් ගත් දෙදෙනකු පෙරේදා (26) තුවාල ලබා තිබේ.
තුවාලකරුවන් රෝහල්ගත කොට ඇතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව චාවාකච්චේරි රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට සිටියහ. වෑන් රථය දුම්රියේ ගැටීම නිසා වෑන් රථයේ පසුපස කොටසට හා ඉදිරිපස එක් කොටසකට දැඩි හානි සිදුව ඇත. අනතුර සිදු වූ ස්ථානයේ ආරක්ෂිත දුම්රිය හරස් ගේට්ටුවක් නොමැති නමුත් ආලෝක සංඥා දැල්වෙන ස්ථානයකි.
දුම්රියක් පැමිණෙන බවට සංඥා නිකුත් වෙමින් තිබියදී වැන් රථය පදවා ගෙන ගිය පුද්ගලයා වෑන් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කරවීම නිසා මෙම අනතුර සිදුව තිබේ.
වාසනාවකට මෙන් වෑන් රථයේ ඉදිරිපස කොටස දුම්රිය මාර්ගය පසු කිරීමෙන් පසුව වෑන් රථයේ පසුපස කොටස දුම්රියේ ගැටීම නිසා අනතුරෙන් ජීවිත හානි සිදුව නොමැත. කොඩිකාමම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ