Tuesday, April 22, 2025
Home » අපට අවශ්‍ය ශක්තිමත් විපක්ෂයක් ගොඩනඟන්න

අපට අවශ්‍ය ශක්තිමත් විපක්ෂයක් ගොඩනඟන්න

-සර්වජන බලය පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් ජාතික සංවිධායක, අපේක්ෂක දිලුම් අමුණුගම

by sachintha
October 28, 2024 1:35 am 0 comment

අයි. එස්. අයි. එස්. සංවිධානයේ සංවිධානාත්මක ජාලය මෙරට තුළ තවමත් ක්‍රියාත්මක බවත්, තමන් රාජ්‍ය ඇමැති ධුරය දැරූ සමයේදීත් බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර තිබූ බවත් සර්වජන බල පක්ෂයේ ජාතික සංවිධායක, මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ සර්වජන බලය පක්ෂයේ පාක්ෂික හමුවක් මහනුවර රැජින හෝටලයේදී පැවැති අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“ලෝකයේ රටවල් ගණනාවක මේ සංවිධානය ක්‍රියාත්මකයි. යම් අනතුරක් ඇත්නම් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව අප මේ මොහොතේ එකට එක්ව ඒ සඳහා මුහුණ දිය යුතුයි. ආණ්ඩුව අපහසුතාවට පත්වන අවස්ථාවක බලය ඩැහැ ගැනීම විපක්ෂයේ කාර්යභාරය නෙවෙයි. රට ආරක්ෂා කිරීමේ වගකීම විපක්ෂයටත් තිබෙනවා. සංචාරක කර්මාන්තය කඩා වැටුණොත් ආණ්ඩුව ආර්ථික වශයෙන් අපි ලොකු අර්බුදයකට යනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අද නෑ. එජාපය පතුලටම කඩා වැටිලා. සමගි ජන බලවේගයේ තත්ත්වය මහ මැතිවරණයෙන් පසු දරුණු වෙනවා. ගෑස් සිලින්ඩරය කියන්නේ රවී කරුණානායකට අයිති සලකුණක්. දැන් මේ රටේ අනාගතයක් තිබෙන එකම පක්ෂය සර්වජන බලය පමණයි. රට වැටුණොත් බාර ගන්න ශක්තිමත් විපක්ෂයක් ඕනෙ. පසුගිය දශක කිහිපයේදී රට අර්බුදකාරී තත්ත්වයකට ගමන් කිරීමට විපක්ෂයේ කාර්යභාරයත් ප්‍රබල ලෙස බලපා තිබෙනවා. කොවිඩ් වසංගතය අවස්ථාවේ ලෝකයේ සෑම රටකම විපක්ෂය ආණ්ඩු පක්ෂයට සහාය දෙද්දී අපේ රටේ විපක්ෂය කළේ කකුළෙන් ඇදීමයි. ආණ්ඩුවක් බලයට ආ පසු ඊට පසුදා ඉඳන්ම ආණ්ඩුව වට්ටා බලය ගැනීමට උත්සාහ කිරීමේ විපක්ෂ ක්‍රියාවලියට නැවතීමේ තිත තැබිය යුතුයි. මේ රටේ දැන් නිර්මාණය විය යුත්තේ ප්‍රාථමික නොව ප්‍රබුද්ධ විපක්ෂයක්. ජනතාව අනුර කුමාර දිසානායක මහතාට ජනවරමක් දී තිබෙනවා. ඔහුගේ ආණ්ඩුවක් යටතේ වැඩ කරගෙන යෑමට අපි අවස්ථාව දිය යුතුයි. ඒ නිසා තමයි සර්වජන බලය උත්සාහ කරන්නේ ශක්තිමත් විපක්ෂයක් ගොඩනඟන්න. මේ අයට රට කරගෙන යෑමට නොහැකි වුණොත් රට බාර ගන්න හොඳ විපක්ෂයක් අවශ්‍යයි.”

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT