Home » පුංචි මිනිසුන්ට මඟ තැනූ කන්නන්ගර චින්තනය

පුංචි මිනිසුන්ට මඟ තැනූ කන්නන්ගර චින්තනය

by sachintha
October 28, 2024 1:30 am 0 comment

මෙරට අධ්‍යාපනය පිළිබඳ කතාබහ විවිධ මට්ටමින් සිදුවේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව පවතින බව පසුගිය කාලය පුරාවටම කියවිණි. එහෙත් එවැන්නක් ක්‍රියාත්මක නොවිණි. විශේෂයෙන්ම රටේ ආර්ථික ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් නොවිණි. පෞද්ගලීකරණය කිරීම හා පොදු ජන සේවා කප්පාදු කරන දෙසට යොමුවීම දක්නට ලැබිණි. අධ්‍යාපන ක්ෂේත්‍රයට ද මෙම පොදු යථාර්ථයට මුහුණදීමට සිදුව තිබේ. වඩා දියුණු පරිපූර්ණ අධ්‍යාපන ක්‍රමවේදයක් බිහි කිරීම කෙසේ වෙතත් පවතින නිදහස් අධ්‍යාපන අවස්ථාව රැක ගැනීම පවා විශාල අභියෝගයක්ව ඇත්තේ ඒ නිසාය. ලංකාවේ අධ්‍යාපනයට වෙන් කෙරී ඇති මුදල ගැන හැමදාම පැවති මතය ද එසේමය. 1909 ඔක්තෝබර් 30 සිංහල බෞද්ධයා පුවත්පතට ලිපියක් ලියන අනගාරික ධර්මපාලතුමා සඳහන් කරන්නේ දරුවන්ට ඉගැන්වීම පිණිස වියදම් කරන ලද මුදල ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාට ගෙවන මුදලට වඩා අඩු බවය. ඉන් අනතුරු කාලයේ නිදහස් අධ්‍යාපනය ඇතුළු විවිධ පනත් ලංකාවට හඳුන්වා‍දුන්න ද අධ්‍යාපනයට පවතින්නේ අඩු සැලකිල්ලක් බව කිවයුතුය. එවැනි අවධියක සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ ගමන් මඟ සුවිශේෂය.

“සෑම පිරිමි හා ගැහැනු ළමයකුටම අධ්‍යාපනයට ප්‍රවේශවීම සඳහා ඉඩප්‍රස්තා ලබාදීමට මට අවශ්‍යවේ. අධ්‍යාපනය යනු ධනවතුන් විසින් මිලදී ගැනීම පිණිස වූ වෙළෙඳ භාණ්ඩයක් නොවේ. සීමිත කොටසකට ලබාදීම සඳහා වූ වරප්‍රසාදයක් නොවේ.” යනුවෙන් සඳහන් කළ කන්නන්ගර මහතා අධ්‍යාපනය වූ කලී ජාතියක සි‍ටින සෑම පිරිමි හා ගැහැනු ළමයකුගේම අවශ්‍යතාවක් ලෙස සලකා කටයුතු කළේය.

සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතා ඉතා දුෂ්කර ළමා අවධියක් ගත කළ අයෙකි. ඔහුගේ මව කුඩා කාලයේදී මියගියාය. අම්බලන්ගොඩ, රන්දොඹේ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ එතුමා ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාල‍යට ඇතුළත් වූයේ ශිෂ්‍යත්වයක් ලැබීමෙනි. තුන්වැනි පන්තියේ ශිෂ්‍යත්වයක් වූ එයට හිමිවූයේ අවම පහසුකම්ය. නේවාසිකාගාරය සුවපහසු නොවීය. මෙම නේවාසිකාගාරයේ සිටි අය, පළමු පන්තියේ නේවාසිකාගාර හිමි ශිෂ්‍යයන්ගේ උසුළු විසුළුවලට ලක්වූහ. මෙහිදී ඔවුහු කුඩා කන්නන්ගරට සමච්චල් කළේ “රන්දොඹේ ගොඩයා“ කියමිනි.

කන්නන්ගරට මේ උසුළු විසුළු සමඟ ගැටීමට කාලයක් තිබුණේ නැත. ඔහුගේ එකම අරමුණ වී තිබුණේ මියගිය මවගේ ගෞරවය රැකීම සහ රැකියාවක් නොමැතිව ජීවන සටනට මුහුණ දී පියාට සහනයක් වීමය. පාසලේදී අනෙක් දරුවන්ට මෙන් පියාගෙන් ආහාර පාන, පොත් පත් සඳහා ඔහුට මුදල් ලබා ගැනීමේ හැකියාවක් නොතිබිණි. මේ නිසා ඔහු අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් අධ්‍යාපන කටයුතුවල නියැළිණි. එයින් ශිෂ්‍යත්ව රැසක් දිනා ගැනීමට හැකිවිය. ආගමික දැනුම සඳහා විශිෂ්ටතම ශිෂ්‍යයා, ඉංග්‍රීසි භාෂාව සඳහා විශිෂ්ටතම ශිෂ්‍යයා, ගණිතය සඳහා විශිෂ්ටතම ශිෂ්‍යයා සහ සදාචාරාත්මක නේවාසික ශිෂ්‍යයා සඳහා විදුහල්පති පිරිනමන ශිෂ්‍යත්වය වැනි ශිෂ්‍යත්ව රැසක් ඒඅතර විය. මේ ත්‍යාග නිසා එදිනෙදා අවශ්‍යතාවලට ඔහුට මුදල් අවශ්‍ය නොවිණි. අගහිඟතා පිරී ගිය තමාගේ ළමා කාලය ගෙවී ගිය ආකාරය පිළිබඳ පසුකලෙක අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වූ එස්. එෆ්. ද සිල්වා මහතාට කන්නන්ගර මහතා විසින් මෙසේ ප්‍රකාශ කර තිබිණි.

“කවදාවත් මා දන්නා තරම් දුප්පත්කම ගැන දන්නවා ද? නිදාගත්තේ එක්කෝ පැදුරක නැත්නම් මහ පොළොවේ. කන්නේ බතුයි සම්බෝලයි. ගමේ කොලුවන්ට මීට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ”

නීතිඥ වෘත්තියට පිවිසීමෙන් අනතුරුව අනගාරික ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරයට සම්බන්ධව සිට, ලද පන්නරය ඔස්සේ 1923 ගාල්ල අතුරු මැතිවරණයට හෙතෙම තරග කළේය. එහිදී විශාල වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ව්‍යවස්ථාදායක සභාවට පත්වීමට කන්නන්ගර මහතාට හැකිවිය.

1931 දී ජාතික මන්ත්‍රණ සභාවට තේරී පත්වීමට කන්නන්ගර මහතාට හැකියාව ලැබිණි. ඩොනමෝර් ක්‍රමය අනුව, පත් වූ සියලුම මන්ත්‍රීවරුන් විධායක කමිටුවලට පත් කරන ලද අතර, එම කමිටුවල සභාපතිවරයා එම විෂයයෙහි ලා අමාත්‍යවරයා ද විණි. මේ අනුව අධ්‍යාපන කමිටුවේ සභාපතිවරයා වූයේ කන්නන්ගර මහතා යි. රටේ සමස්ත අධ්‍යාපනයට අත්ව ඇති ඉරණම පිළිබඳ කන්නන්ගර මහතාට හොඳ අවබෝධයක් විය. තමා ලැබූ අත්දැකීම් ද ඔහුට මෙහිදී බලපාන්නට ඇත. වරෙක ජවහල්ලාල් නේරු මහතා ප්‍රකාශ කළ පරිදි උගත්කමත් සමඟ වහල්භාවය තුරන් කිරීමට මෙම නිදහස් අධ්‍යාපනයට හැකි බව ඔහු අවබෝධ කරගෙන තිබෙන්නට ඇත.

මේ අවධියේ මෙරට පාසල් වර්ග දෙකක් විය. ඒ මුදල් අය කළ ඉංග්‍රීසි පාසල් හා පිරිවෙන් ඇතුළු ස්වභාෂා පාසල් ලෙසය. නාගරික හා ගම්බද පොහොසතුන්ගේ දරුවන්ට විවෘතව තිබූ ඉංග්‍රීසි පාසල් තුළින් පමණක් රාජ්‍ය, සිවිල්, වෛද්‍ය හෝ නීති යන වැදගත් සේවාවකට ඇතුළුවීමේ හැකියාව ලැබිණි. එබැවින් ඉංග්‍රීසි පාසල් ඉහළ ආර්ථික වටිනාකමක් දිනාගත්තේය. මේ සඳහා විශාල මුදලක් වැය කළ යුතු වූ හෙයින් එය වැඩදායක වූයේ කිහිප දෙනකුටය.

ස්වභාෂා පාසල්වලින්, මූලික ලෙස අදහස් කරන ලද්දේ මවුබස පිළිබඳ දැනුමක් දරුවන්ට දීමය. ළමයින්ගෙන් පිරීඉතිරී ගිය ශාලාවලින් යුතු විද්‍යාගාර, පුස්තකාල හා ක්‍රීඩා උපකරණවලින් ද වෙනත් පහසුකම්වලින් ද හීන හුදෙක් ග්‍රාමීය මට්ටමේ වූ හුදෙකලා පාසල් පද්ධතියක් මේ සඳහා විය.

මේ විෂමතාව අධ්‍යාපන ක්‍රමයේ දක්නට ලැබුණු අතර මේ නිසා ලාංකිකයන් පන්ති දෙකක් ලෙස වෙන්වී සිටීම දක්නට ලැබිණි. ඔවුන් එක් ජාතියක් ලෙස ගොඩනැගීම ගැටලුසහගත විය.

මේ සියල්ල හඳුනාගනිමින් අධ්‍යාපන කමිටු වාර්තාව එළිදැක්විණි. 1940 සිට 1943 දක්වා කරුණු විභාග කර සකස් කළ අධ්‍යාපන විශේෂ කමිටුවේ වාර්තාව මෙරට අධ්‍යාපනය සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවූ එකම අර්ථවත් වාර්තාව ලෙස බොහෝ විද්වතුන්ගේ ද පිළිගැනීමට ලක්වේ. එම නිර්දේශ අනුව යමින් 1944 දී මැයි මස 30 වැනිදා අධ්‍යාපන සංශෝධන ආඥා පනත ඔස්සේ නිදහස් අධ්‍යාපන යෝජනා, මන්ත්‍රණ සභාවට කන්නන්ගර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබිණි.

නිදහස් අධ්‍යාපන යෝජනාවලිය පිළිබඳ විවාදයේදී කන්නන්ගර මහතා විසින් 1944 ජූනි මස 4 වැනි දින පැය හයකට අධික කාලයක ඓතිහාසික කතාවක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී කරන ලදි.

Òගඩොලින් තනා තිබූ රෝමය කිරිගරුඩින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්‌ටස්‌ අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා. මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිල අඩු කළ බවත්, වසා තිබූ පොතක්‌ විදියට අපට දිස්‌ වුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක්‌ බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය, දිළින්දන්ගේ උරුමයක්‌ බවට පත් කරපු බවත්, සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුළුවන් වේ නම් ඒ ආත්ම වර්ණනාව ඔගස්‌ටස්‌ අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොතරම් ශ්‍රේෂ්ඨ ද?Ó මෙහිදී ඔහු කීවේය. මේ ආකාරයෙන් 1945 ජූලි මාසයේ දී නිදහස් අධ්‍යාපන පනත සම්මත විය. එම වසරේ ඔක්තෝබර් මස පළවැනිදා සිට එය බලාත්මක කෙරුණේ දහසක් දූ දරුවන්ගේ හා මවුපියන්ගේ අපේක්ෂා මල්ඵල ගන්වමිනි.

හඳුන්වා දුන් නව අධ්‍යාපන පනත මඟින් අරමුණු හා ඉලක්ක රැසක් ඉටු විය. පළමු ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබාදීම, ප්‍රාථමික පාසල්වල අධ්‍යාපනය මව් භාෂාව මඟින් පැවැත්වීම, තුන්වන පන්තියේ සිට ඉංග්‍රීසි අධ්‍යාපන ලබා දීම, සුපිරි පන්තියට වෙන්කර තිබූ ඉංග්‍රීසි අධ්‍යාපනය මේ රටේ සාමාන්‍ය දරුවන්ට ඉගෙන ගැනීමට අවස්ථාව ලැබීම, මධ්‍ය මහා විද්‍යාල බිහි කිරීම, දරුවාගේ Òහිස, හදවත හා දෑත්Ó වර්ධනය වන ආකාරයේ විෂය මාලාවක් හඳුන්වා දීම ආදිය එයින් සිදුවිය.

කන්නනන්ගර මහතා විසින් මෙසේ හඳුන්වා දෙන ලැබූ නිදහස් අධ්‍යාපන යෝජනාවල ප්‍රතිඵල කෙටි කලකින්ම දැක ගැනීමට හැකිවිය. 1931 වන විට 89%ක් වූ පාසල් නොගිය ළමුන් ගණන 1947 දී 37%ක් දක්වා අඩුවිය. 1967 දී විශ්වවිද්‍යාල ළමුන්ගෙන් 76%ක්ම ගම්බද දරුවන් අතරින් බිහිවිය. තවද විශ්වවිද්‍යාලවල කාන්තා ප්‍රතිශතය 1960දී 40%ක් දක්වා වර්ධනය වී තිබිණි. මේ තත්ත්වය පැහැදිලිව කියාපාන්නේ කන්නන්ගර ප්‍රතිපත්ති ඔස්සේ අධ්‍යාපනය ගමට ගලා ගොස් තිබූ ආකාරයයි. මෙහිදී නිදහස් අධ්‍යාපනය හා මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කිරීමත්, මවු බසින් ඉගැන්වීම ආරම්භ කිරීමත් ප්‍රබල ලෙස බලපෑවේය. මේ සමඟම මෙරට සාක්ෂරතාව ඉහළ ගියේය. 1931දී 21.2%ක්ව පැවති කාන්තාවන්ගේ සාක්ෂරතාව 1963දී 67.3 දක්වා ඉහළ ගොස් තිබිණි. ළදරු මරණ සංඛ්‍යාව වේගයෙන් පහළ වැටිණි.

1931 සිට අවුරුදු 16ක් මෙවැනි විශිෂ්ට සේවයක් කළ ද, කන්නන්ගර මහතා 1947 පැවති අතුරු මැතිවරණයෙන්, විල්මට් ඒ. පෙරේරා මහතාට පරාජය විය. එම පරාජයට දේශීය මෙන්ම විදේශීය බලපෑම් ද වූ බව කියැ වේ. මෙය හොඳින්ම තහවුරු වන්නේ 1947 එතුමාගේ පරාජය නිසා ඇතැම් ආගමික ස්ථානවල ඝන්ඨාර පවා නාද කර සතුට ප්‍රකාශ කර තිබීමෙනි.

ඉන්පසුව 1952 දී පැවති මහ මැතිවරණයේ දී කන්නන්ගර අගලවත්ත ආසනය ජයග්‍රහණය කළේය.

සුවිශාල සේවයක් කළ කන්නන්ගර මහතාට දේශපාලනයෙන් ආර්ථික වාසි තිබුණේ නැත. පාර්ලිමේන්තු ගමන අවසන් වෙද්දී ඔහු ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටියේය.

“ආයෝජනවලින්, නිවාසවලින්, ඉඩකඩම්වලින් හෝ වෙනත් ප්‍රභවයන්ගෙන් මට කිසිදු පෞද්ගලික ආදායමක් නොලැබෙන බැවින් මා වසර ගණනාවක්ම යැපුණේ මාගේ මිත්‍රයන්ගෙන් හා හිතවතුන්ගෙන් ලැබෙන පරිත්‍යාගවලිනි. මාගේ සෞඛ්‍යය රැක ගැනීම සඳහා කළ යුතු අත්‍යවශ්‍යම වියදම් වෙනුවෙන් ගෙවිය යුතු බිල්පත් දිනපතා ගොඩගැසෙමින් පවතියි.”

ලෙස තමා මුහුණ දී තිබෙන තත්ත්වය පිළිබඳ කථානායකවරයාට ලිව්වේය. විශ්‍රාම වැටුපක් පාර්ලිමේන්තු නියෝජිතයන්ට වෙන්ව නොතිබූ සමයේ තමාට ආර්ථික වශයෙන් සහනයක් ලබාදීමට කටයුතු කරන මෙන් ඔහු එහිදී ඉල්ලා සිටියේය.

“භාරතයේ උපත ලැබුවේ නම් ඔහු එහිදී දෙවියකු වශයෙන් පුද ලබනු ඇත” ඉන්දියානු මහකොමසාරිස්වරයා වූ එම්.එස්.ආන් 1945 දී කියා සිටියේය. කන්නන්ගර මහතාට අවසානයේ සිදුවූයේ එවැනි දුෂ්කරතාවකට පත්වීමටය. අද කුමන අයුරින් බොහෝ දෙනා නිර්වචනය කළ ද ජාති,ආගම්,කුල, පන්ති‍ භේදයෙන් පීඩාවට පත් බො‍හෝ දෙනාගේ අනාගත ඉරණමට අධ්‍යාපනයෙන් වෙනසක් ඇති කළ සැබෑ දෙවියා සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ය.

මලික් චමින්ද ධර්මවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT