Home » ඉන්දීය මූල්‍ය අනුග්‍රහයෙන් සිද්ධස්ථානවලට සූර්ය පැනල

ඉන්දීය මූල්‍ය අනුග්‍රහයෙන් සිද්ධස්ථානවලට සූර්ය පැනල

by sachintha
October 28, 2024 12:56 am 0 comment

බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයැවීමෙන් ඉන්දීය රජයේ අමෙරිකානු ඩොලර් මිලියන 17ක මූල්‍ය සහයෝගයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව දිවයින පුරා විසිරී ඇති සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය වන පරිදි පියැසි මත ඉදිවන සූර්ය බල ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා විසිරී පවතින විහාරස්ථාන, පිරිවෙන්, දේවස්ථාන, මුස්ලිම් පල්ලි හා හින්දු කෝවිල් යනා දී සියලුම සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙහි පළමු අදියර යටතේ 2025 වර්ෂය මුල්භාගය වන විට ආගමික සිද්ධස්ථාන 5,000ක් ආවරණය කිරීමට අපේක්ෂා කරනු ලබන අතර එම ආගමික ස්ථානයන්හි පියැසි මත මෙම කිලෝවොට් පහක (5 kW) ධාරිතාවක් සහිත සූර්ය පැනල කට්ටල සවි කරනු ලැබේ.

මෙමඟින් ආගමික සිද්ධස්ථානයන්හි විදුලිබිල අවම කිරීමට කටයුතු කරන අතර ආගමික සිද්ධස්ථානයේ විදුලි පරිභෝජනයෙන් පසු ඉතිරිවන විදුලි ඒකක ප්‍රමාණය ජාතික විදුලිබල පද්ධතියට එකතු කරනු ලැබේ.

මූලික අදියර යටතේ ස්ථාපිත කිරීමට නියමිත මෙම සූර්ය විදුලිබල පද්ධති පන්දහස තුළින් මාසිකව එක් සූර්ය විදුලිපැනල පද්ධතියකින් විදුලි ඒකක 500 – 600 අතර ඒකක ප්‍රමාණයක් ජනනය කිරීමට නියමිතය. මෙහි පළමු අදියර යටතේ ස්ථාපිත කරන සමස්ත ධාරිතාවය මෙගාවොට් විසිපහකි (25 MW). මෙහි දී ජනනයවන ඇස්තමේන්තුගත වාර්ෂික විදුලි ඒකක ප්‍රමාණය මිලියන 37ක් පමණ වේ.

මෙම විදුලි ඒකක ප්‍රමාණය පොසිල ඉන්ධන භාවිතයෙන් ජනනය කළේ නම් වාර්ෂිකව දැරීමට සිදුවන සාමාන්‍ය පිරිවැය රුපියල් මිලියන 2,650 ක් පමණ වේ. ඒ අනුව මෙම හරිත බලශක්ති ව්‍යාපෘතිය (Green Energy Project) මඟින් වාර්ෂිකව ඉන්ධන භාවිතයෙන් විදුලිය ජනනය කිරීම සඳහා දැරීමට සිදුවන පිරිවැය සැලකිය යුතු මුදල් ප්‍රමාණයකින් අවම කර ගැනීමට හැකිවනු ඇතැයි විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT