Home » බිරියගේ නිවෙසින් සොයාගත් සැක මෝටර් රථය ගැන කිසිවක් දන්නේ නෑ

බිරියගේ නිවෙසින් සොයාගත් සැක මෝටර් රථය ගැන කිසිවක් දන්නේ නෑ

-ලොහාන් රත්වත්තේ කියයි

by sachintha
October 28, 2024 12:55 am 0 comment

සිය බිරියට අයත් මිරිහානේ පිහිටි නි‍ෙවසේ රථ ගාලේ තිබී සොයාගත් අංක තහඩු නොමැති සැකකටයුතු මෝටර් රථය ගැන තමාත්, බිරියත් කිසිවක් නොදන්නා බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. මිරිහාන පොලිසියට ලද තොරතුරකට අනුව මිරිහාන ශාලාව පාරේ පිහිටි ලොහාන් රත්වත්තේ මහතාගේ බිරියට අයත් නි‍ෙවසේ රථ ගාලේ තිබී අංක තහඩු නොමැති සැකකටයුතු මෝටර් රථයක් සොයා ගනු ලබන්නේ පෙරේදා (26)ය. එම නි‍ෙවස ලොහාන් රත්වත්තේ මහතාගේ බිරියට අයත් එකක් බව අනාවරණය වන්නේද වාහනය සොයා ගැනීමෙන් අනතුරුව බව පොලිසිය කියයි. ලොහාන් රත්වත්තේ මහතා මිරිහාන පොලිසියට පවසා ඇත්තේ තමාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් තමාට ද නොදන්වා මෙම මෝටර් රථය මෙහි ගෙනවිත් දමා ඇති බවය. මෙම මෝටර් රථය කාට අයත් එකක් දැයි තමා නොදන්නා බව ද රත්වත්තේ මහතා කීය. මෝටර් රථය සිය බිරිඳගේ නිවසට ගෙනවිත් දැමුවේ යැයි රත්වත්තේ මහතා පවසන ලේකම්වරයා පසුගිය දා වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත්තේය. රත්වත්තේ මහතාට අයත් මහනුවර පිහිටි කාර්යාලයක දී වෙඩි තබාගෙන තිබුණු අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ද පවත්වනු ලබයි.

මෙම වාහනගේ අගුල් දමා ඇති බැවින් සහ එහි යතුර සොයා ගැනීමට නොමැති නිසා අධිකරණයට කරුණු වාර්තාකර අගුල් කඩා වාහනය සෝදිසි කිරීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම මෝටර් රථයට ලොහාන් රත්වත්තේ හෝ ඔහුගේ බිරිය හෝ වෙනත් පාර්ශ්වයක් මෙතෙක් හිමිකම් නොකියන බැවින් වාහනය ආපදා රථ රැගෙන යන වාහනයක පටවා පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබේ. මෙම රථයේ අගුල් කැඩීමෙන් අනතුරුව රස පරීක්ෂක මෙන්ම මෝටර් රථ පරීක්ෂකයින් යොදා විමර්ශනයක් පැවැත්වීමට නියමිත බව පොලිසිය කියයි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT